චයිනීස්


බස් එක හෝල්ට් එකක නවත්තනවා එක්කම චයිනීස් කෑම කඩයක බෝඩ් එකක් දැක්ක අනුසාරගේ හිත ගැස්සුණා. චයිනීස්... පරණ සිද්ධි මතක් වෙලා දත් මිටි කැවුණත් දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවා අද්දවන්න බැහැ. අනුසාර කල්පනාවට වැටුණා.
ඔක්කොම දේවල් වුණේ මේ කැම්පස් එකේ රීසර්ච් එකක් නිසා. ලෙක්චරර් කෙනෙක් භාරගත්ත රීසර්ච් එකක් සම්පූර්ණ කරන්න අනුසාර ඇතුළුව තුන් දෙනෙක් දවස් පහකට අම්පාරේ ගියා. ආවරණය කරන්න ඕන රාජ්‍ය ආයතන ලැයිස්තුවකුත් එක්ක සර් ලෑස්ති කරපු තැනක නවාතැන් පහසුකම් ලැබුණත් කන්න බොන්න වෙන්නෙ කඩෙන් කියන එක කලින්ම දන්වලා තිබුණා. මේ වැඩේට ලැබෙන ගාණ අනුව තුන්වේල කඩෙන් කන එක නම් කිසිම ලාබයක් නැති වුණත් වැඩේ පවරපු කෙනා අනුව අතින් කාලා හරක් බැලුවත් පාඩු නෑ කියන මතයට හැමෝම එකඟ වුණා. මේ කතන්දර අහන අස්සේ අනුසාර ගේ අම්මට එක පාරම එගොඩහ බාප්පාගේ දුවව මතක් වුණා. " අනේ ! සුනීතාව දැක්ක කාලයක් මතක නෑ. බේබි අම්මාගේ මළ ගෙදරත් ආවලු. මහ රෑම ඇවිල්ල පැයක් විතර ඉඳලා ගියාලු" කියලා කම්පා වුණු අම්මා දවස් දෙකක් ඇතුළත ක්ෂණික විහිදුම් බලකාය යොදවලා සුනීතා නැන්දගේ ජීව දත්ත පත්‍රිකාවම හොයාගෙන තිබුණා. ඒ මදිවට කෝල් කරලත් තිබුණා. "සුනීතාට දැන් ජයයිලු. රීගල් හංදිය කියලා එකක චයිනීස් රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්නවලු" කියලා කිව්ව අම්මා කෑම බීම ප්‍රශ්නය එතනින් විසඳ ගන්න පුළුවන් කියලා කිව්වේ හරිම ආඩම්බරෙන්. " අපෝ .. සුනීතා නංගි කිව්වා ඔය කොල්ලො තුන්දෙනෙක්ට කන්න දෙන එක මහ කජ්ජක් ද අක්කේ කියලා. කෝකටත් යනකොට අත් වන වනා යන්නේ නැතිව කේක් එකක් වත් අරං යන්න. " අම්මා මතක් කළා. " අර ජරාව පියාරා ද ටියාරාද නම් එපා. ප්ලාස්ටික් කනවා වගේ " අනුසාර ඔලුව හොලවලා අනුමැතිය පළ කළා විතරයි.
අම්පාරෙ කාලගුණය නම් හොඳයි රෙදියි කරවලයි වේලන්න. කඩවල් වල බනිසක් වුණත් වතුර නැතිව උගුරෙන් පහළට යන්නේ නෑ වගේ. දවල් දවසෙම සමීක්ෂණේ වැඩ වලට ගිනි කාශ්ඨකේ පිච්චුණු අනුසාර සහ යාලුවෝ දෙන්නා සුනීතා නැන්දලගේ කඩේට ගියේ රෑ කෑමට විතරයි. කඩේ කිව්වට ඒක චයිනීස් රෙස්ටුරන්ට් එකක්. හෝ ගාලා සෙනඟ එනවා. එක ඝෝෂාවයි. මෙන්න ඒ අස්සේ චීන කෝකියෙක් සැරෙන් සැරේට කුස්සියෙන් මතු වෙලා කඩේ ඇතුළේ බලලා යනවා. " උඹගේ සුනීතා නැන්දගේ කඩේ අම්පාරට පට්‍ට ඇඩ්වාන්ස් නේ" යාළුවෝ ටික කතා වුණා. ඒත් අනුසාරගේ ඔලුවේ තිබ්බේ වෙන දේවල්. " ඔයා ලෝ ෆැකල්ටි නොගියේ මාස් කොම් කරන්න තිබ්බ ආසාව නිසාමයි කියලා මම කියලා තියෙන්නේ. සුනීතා නංගි අනිවාර්‍යෙන් අහයි" අම්මා එන්න කලින්ම අනුසාර වටේ ඉඳන් මතුරපුවා දැන් පැටලෙනවා වගේ. " ලෝ යන්න රිසාල්ට් මදි වුණා කියලා එහෙම කියන්නේ නෑ ඔන්න. ! සුනීතගේ ළමයි ඒ ලෙවල්වත් කරලා නෑ මගෙ හිතේ" අම්මා එහෙම කිව්වට යාළුවො ඉස්සරහ ඔය ටොම් පච කියන හැටි තමයි අනුසාර කල්පනා කළේ. ඕවා මුං එක්ක කියලා ආයේ රෙදි ඇඳන් කැම්පස් යන්නද ?
මේ අස්සේ නොහිතපු වැඩ දෙකක් වුණා.

1. ධනංජය අර චීන කෝකියා එක්ක චීන භාශාවෙන් කතා කරන්න ගිය එක.
පස්සේ තමයි කට්ටියටම මතක් වුණේ ධනංජය ඉස්කෝලෙන් අවුට් වුණු ගමන්ම ටේබල් ටෙනිස් වලට ශිෂ්‍යත්වයක් ලැබිලා අවුරුද්දක්ම චීනේ ඉඳලා ආපු බව. අනුසාරලට වඩා වයසින් වැඩිමල් වුණත් ධනංජයත් තවම සෙකන්ඩ් ඉයර් ඉන්නේ ඒ නිසයි. ඒත් දැන් මිනිහා කැම්පස් ටීම් එකටවත් ටේබල් ටෙනිස් ගහන්නේ නෑ. මොකද දන්නේ නෑ. ඒ නිසා කාටවත් ධනංජය චීන භාෂාව දන්නවද කියන එක නෙමෙයි ධනංජය චංගුමිවත් බලලාවත් තිබ්බද කියලා නිච්චියක් තිබ්බේ නෑ
2. නදීෂානි කෑම එකක් ගන්න රෙස්ටුරන්ට් එකට ආව එක.
ඒ වෙලාවෙ සුනීතා නැන්දගේ දුව කුෂාණි අක්කත් අනුසාරලා එක්ක හිටිය නිසා ඒ නදීෂානිම බව තහවුරු කරගන්න ලැබුණා. නදීෂානි කියන්නේ ඕ ලෙවල් කාලේ අනුසාර ගිය විද්‍යා පන්ති ආපු ගෑණු ළමයෙක්. පිරිච්ච ඇඟක් එක්ක තාරාවෙක් වගේ ගමනක් තිබ්බ නිසා කොල්ලො "තාරා" කියලා කාර්ඩ් එකක් දාලා තිබ්බ වැඩි සෝබනයක් නැති ළමයෙක්. ක්ලාස් එන මග ඉඳන් ලයින් දාන , ටිකක් ජේත්තුකාර කොල්ලෙක් එක්ක නදීෂානිගේ හුටපටයක් තිබ්බ බවත් අනුසාර කුෂාණි අක්කත් එක්ක මතක් කළා. ඒත් ඉස්සර ඉඳන්ම කුලෑටි නිරීක්ෂකයෙක් වුණු අනුසාර ට පරණ මතකය අවුස්සන්න , අතීතකාමයෙන් හිනාවෙලා තමන්ව අඳුන්වලා දෙන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ. නදීෂානි අම්පාරට වෙලා මොනවා කරනවද කියන එක හිතනවා තියා ඕ ලෙවල් වලින් එහෙම කෙනෙක්ව දැක්කේවත් නෑ නේද කියන එක ගැන වත් අනුසාරගේ මතකයක් තිබුණේ නෑ. සමහර විට එයා ආර්ට්ස් නෙමෙයි කරන්න ඇත්තේ.
කොහොම හරි මේ වැඩ දෙකම හබක් වුණා. සුනීතා නැන්දලාගේ හෝටලේ ඉන්න චීන කෝකියාට චීන බෑ කියලා ධනංජය රෑ හෝටලේදි බියර් එකක් ගහන ගමං හෙළි කළා. " මට චයිනීස් එහෙමට බෑ. ඒත් ඒ යකාට මම දන්න බේසික්වත් තේරෙන්නේ නෑ බං" ධනංජය කිව්වා. එදා හවස තිස්සෙම කුෂාණි අක්කා එක්ක නදීශානි ගේ පරණ කතා වමාරලාම හෙම්බත් වෙලා හිටිය අනුසාරට ඒක අහලා ඔළුව රිදෙන්න ගත්තා. ඒත් ඊට පස්සේ අනුසාරලා රෑට කන්න ගිය දවස් දෙකේම කෝකියා පේන්න හිටියේත් නෑ. ඒකටත් හරියන්න කුෂාණි අක්කා පරණ ඕපාදූප නැවත අසමින් රී කරෙක්ෂන් දාන්න වුණා. පහුවෙනිදා ආපහු යන්න ලෑස්ති වෙලා බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට සුනීතා නැන්දා බැඳපු මාමා ඇවිල්ලා කට්ටියව නිව් සිටි එකට එක්කගෙන ගිහිං කූල් ඩ්‍රින්ක්ස් අරන් දුන්නා. ඒ ගමන් කිව්වා අර ඒප්‍රන් ඇඳගෙන ඉසකුඩිච්චියක් දාගෙන කුක් කෙනෙක් වගේ ඉන්නේ චීනෙක් නොවන බව. කෙන්හැම් කියන කොරියන් කම්පැණි එකෙන් බිල්ඩිං හදන්න ආපු කොරියන් කාරයෙක් තමයි ඒ සුනීතා නැන්දලාගේ රෙස්ටුරන්ට් එකට කොහෙන් හරි සෙට් වෙලා තියෙන්නේ. " මිනිහව දැම්මත් හරි බිස්නස් නැගලා ගියා පුතේ " කියලා මාමා අන්තිම බිංදුව තෙක්ම වටින අලියා බීම බෝතලේම ගිලින්න වගේ උඩට ඇද්දා. අනුසාරලා කැසට් එකකට හයි කරලා තිබ්බා අම්පාර කොළඹ බස් එකේ පැද්දි පැද්දි කොළඹ ආවා.
" ඔය නදීෂානි කියන්නේ මාලිනී මැඩම්ගේ ක්ලාස් ආපු කෙනෙක්ද ? " සති තුනකට විතර පස්සේ මහ රෑක අම්මා එකපාරට ඇහුවාම අනුසාර හොල්මන් වුණා. මොන නදීෂානිද කියලා හිතනවත් එක්කම ඒ කවුද කියලා මතක් වුණාට අම්මා කොහොමද ඒ නම දන්නේ ? අනුසාර ආරක්ෂාකාරීව පිති හරඹයේ යෙදුණා. ඒත් අම්මා මුරලිදරන් වගේ දුස්‍ රා පන්දු දාන්න මහන්සි වුණේ නෑ. අම්මා දැම්මා පියල් විජේතුංග ගේ ඕවරයක්.
" දන්නවද ? ඒ කෙල්ලට කුෂාණිගේ පුතාගේ වයසේ ළමයෙක් ඉන්නවලු. දැන් ඉස්කෝලේ දෙක වසරේ" ඒ කතාව අහනකොටම සන්නිවේදනය කොච්චර දියුණුද කියලා රචනාවක් ලියන්න තරම් දේවල් අනුසාරගේ ඔළුවට ආවා. මාසෙකට කලින් සුනීතා නැන්දා ඉන්න තැනක්වත් නොදැන හිටි අම්මා දැන් කුෂාණිගේ පුතාගේ පංතිය පවා දන්නවා " මෙච්චර කල් වටේ පිටේ කියලා තියෙන්නේ වයස විසි පහයි කියලලු. මහත්තයා ඇක්සිඩන්ට් එකකින් මැරුණා කියලාලු " අම්මා කුෂාණි අක්කා ආවේස වෙලා වගේ එයාගෙන් අහන්න ලැබුණු තොරතුරු ටික වාර්තා කරන්න ගත්තා. " ඔය ගෑණි පුතාගේ වයසේ කියන්නේ තාම වයස විසි තුනයිනේ. ඒ කියන්නේ අවුරුදු දා හතේ දි තමයි ඔය ළමයා ලැබිලා තියෙන්නේ" අම්මා කම්මුලේ අත තියාගෙන කම්පා වුණා. ආදම් සහ ඒවා ඇපල් කනවා දැක්ක දෙවියන් වහන්සේ වුණත් මෙහෙම බය වෙන්න නැතිව ඇති කියලා හිතපු අනුසාර අමාරුවෙන් වචන පිට කළා "ඉතිං ? " ඒක ඇහුණු අම්මා පුටුවෙන් නැගිට්ටා. " ඉතිං තමයි! මොන බොරුවක් ද මෙච්චර කාලෙකට කරලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳන් වල් වනචරකම් කරලා ඈත් පළාත් වලට ගිහිං පත්තිනි අම්මලා වගේ ඉන්නවා " අම්මා ඒ ටික කියන හැටි බලන් ඉන්නකොට "ලංකාවේ මෙගා නාට්‍ය කලාව සහ ගෘහස්ත බලපෑම" කියන පැවරුම ආයෙම කරන්න තිබ්බා නම් කියලා අනුසාර හිතුවා. " අන්න ගමේ මිනිස්සු ගිහිං උන්දැගෙ ගෙදරට ගල් ගහලා. දැන් සතියක ඉඳන් ගෙදර නෑලු" අම්මා ජයග්‍රාහී විදියට කිව්වා. " තව කොහේ හරි පළාතකට ගිහිං අහිංසකයො ටිකක් රවට්ටයි" අනුසාර බලං හිටියා. " වා..ල් ගෑ..ණු" අම්මා ආයෙම කිව්වා.

අනුසාර ආයෙම චයිනීස් නොකන්න තීරණය කළා
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. කතාවක් ඇතුලේ කතා ගොඩක් . ජයවේවා !!

    ReplyDelete