කවුද අම්මේ ඒ බඩ තඩි මනුස්සයා ?


අම්මා ! අම්මා .. මේ බලන්නකෝ.. 
රූපවාහිනී යන්ත්‍රය දෙස බලා සිටි තරුණිය එක්වර පුදුමයෙන් හඩ තලන්නට වූවාය. කිරිහොද්දක් හැඳිගාමින් සිටි මව පොල්කටු හැන්දද රැගෙන සාලයට දිව ආවාය.
මේ බලන්න අම්මා ! අර අපේ ගෙදර නැවතිලා ඉන්න බඩ තඩි මනුස්සයා ටී වී එකේ පෙන්නනවා
තරුණිය විමතියෙන් මෙන් අත දිගු කළාය.
අයියෝ ඔනෙලා. මම බය වෙච්ච තරමක්. අර කිරිහොද්දත් කැටි ගැහෙනවා ළමයෝ ඔයාගේ වැඩ නිසා 
මව රූපවාහිනිය දෙස බලමින් අවවාද කරන්නීය.
ඒත් අම්මා ! .....   තරුණිය නෝක්කාඩු ස්වරයෙන් පවසන්නට විය.

ඒ මනුස්සයා මොකටද අපි යන යන ගෙදරට එන්නේ ?  කලින් ගෙවල් වලත් හිටියා. මේ ගෙදර ගත්තාම ඒකටත් ආවා . 
ඇය හඬන්නට මෙන් අම්මාගේ ඇඟේ එල්ලුණාය.

මොකටද අම්මා දන්නේ නැති මිනිස්සුන්ව ගේ ඇතුළේ තියා ගන්නේ ? .. මගෙ යාලුවොත් හිනාවෙනවා අපේ ගෙදරට මහසෝන වගේ උස මහත මනුස්සයෙක් යනවා එනවා කියලා.. ඇය මවගේ උරහිසේ මුහුණ සඟවා ගත්තාය.

ඔනෙලා ...
 මව වඩාත් බැරෑරුම් ස්වරයෙන් ඇමතුවාය.

අනේ අම්මා ! අපි එයාව දන්නේවත් නෑනේ. අඩුම ගාණේ වචනයක් වත් කතා කරන්නෙත් නෑනේ
. දියණිය මුරණ්ඩු ස්වරයෙන් පැවසුවාය.

මුරකාරයෙක් ඕනෙම නම් අපි වෙන කෙනෙක් ගමු. මෙයාගේ මරුමුස් පාට වැඩියි අම්මා
 . අනතුරුව ඇය කකුලෙන් සිමෙන්ති පොළව හාරන්නට විය.
මතක නැද්ද අනේ අපි බලපු බොඩිගාර්ඩ් ෆිල්ම් එක ? ඇයගේ මුහුණ රතුවන්නට විය.  ඒකේ බොඩිගාර්ඩ්ට හිටියේ සල්මන් ඛාන්
ඔයාට පිස්සුද ළමයෝ ? ...   මව තරමක් නොරිස්සුමෙන් හඬ නැගුවාය.
මට නෙමෙයි. අම්මටයි පිස්සු.! තරුණිය කෝපයෙන් දෙවුර ගැස්සුවාය.
අඳුනන්නේ නැති මනුස්සයෙක්ව ගේ ඇතුළේ දාගෙන ඉන්නේ අම්මනේ ? ඇය සිහින් හඬින් කෑ ගැසුවාය.
අඩුම ගාණේ උයන්න පුළුවන් මිනිහෙක් නම් කමක් නෑ. අපිට තිබ්බා කුස්සියේ වැඩ ටික ඒ මනුස්සයට දෙන්න !  ඇය බලාපොරොත්තු සහගතව මව දෙස බැලුවාය.
ඔනෙලා ! මව කෝපාවිෂ්ට වූවාය.
විකාර කියවන්න එපා ළමයෝ. ඒ ඔයාලගේ තාත්තා. එයා මේ රටේ විදේශ කටයුතු ඇමති. ඔයාලා එක්ක කතා කර කර ඉන්න එයාලට වෙලාවක් නෑ
මව තම ලජ්ජාසහගත මූණ දියණියගෙන් වසං කරමින් මෙසේද පැවසුවාය.
එයා බිසී ඔනෙලා. එයාලා යහපාලනේ කියලා එකක් ගේන්න රෑ දවල් නැතුව වැඩ! 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments: