අගෝස්තු 11 : සෝලා බඩ් සහ මේරි ඩෙකර් ඔලිම්පික් උළෙලේදී ගැටේ


1984 වසරේ අද වැනි දවසක ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මේරි ඩෙකර් ගේ සහ සෝලා බඩ් ගේ පදක්කම් සිහිනය අවාසනාවන්ත ලෙස බිඳ වැටිණි.
ඇමරිකානු ක්‍රීඩිකාව මේරි ඩෙකර්, එවකට මීටර 3,000 ඉසව්වේ ලෝක සූරිය ව සිටි අතර ඉතිරිව තිබුණේ තම මව් බිමේදීම ඔලිම්පික් රන්පදක්කම දිනා ගැනීම පමණි. බොහෝ ඇමරිකානුවන් එදින තරගය නැරඹීමට පැමිණියේ එම අවස්ථාව සියැසින් දැක බලා ගැනීමටය. ඇයට අභියෝගයකට සිටියේ වරින්වර ඇයගෙන් ලෝක වාර්තාව උදුරාගන්නා එංගලන්තයේ සෝලා බඩ් ය.
පාවහන් රහිතව ධාවනයේ යෙදෙන ( Barefoot Runner) සෝලා බඩ් ගේ නිජබිම වන්නේ දකුණු අප්‍රිකාවය. එවකට පැවති වර්ණභේදවාදය නිසා දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන්ම අතුගා දමා තිබූ බැවින් 1964 සිට 1988 දක්වාම ඔවුනට ඔලිම්පික් දොරටු වැසී තිබිණ. මෙනිසා බොඳව යමින් තිබූ සෝලා බඩ් ගේ ඔලිම්පික් සිහිනය යථාර්ථයක් වන්නේ ලොස් ඇන්ජලීස් උළෙලට මාස කිහිපයකට පෙර ඇයට එංගලන්තයේ පුරවැසි බව හිමි වීමෙනි. සෝලා කළු ජාතික දකුණු අප්‍රිකානුවෙකු වුවද ,ඇගේ සීයා එංගලන්තයෙන් පැමිණ එරට සේවය කළ සුදු ජාතිකයෙකු වීම ඒ සඳහා උපකාරී විය.
අවසාන මහා තරගය ඇරඹී මීටර 1,700ක් අවසන් වන විට පොකුරේ ධාවනයෙන් ඉදිරියෙන්ම සිටින්නේ මේරි සහ සෝලා ය. එක්වරම සෝලා බඩ් ව පසුකරන්නට උත්සාහ කරන මේරි ඩෙකර් සෝලාගේ කකුලේ පැටලී ක්‍රීඩා පිටිය තුළට ඇද වැටෙන්නීය. ඇය යළිත් නැගී සිටීමට නොහැකි මට්ටමට ආබාධයකට ලක් වූවාය. තම රට තුළදීම ලෝක සූරියගේ රන් පදක්කම් බලාපොරොත්තුව එසේ බිඳ වැටෙද්දී කෝපාවිෂ්ඨ වූ ඇමරිකානු නරඹන්නන් සෝලා බඩ් ට චෝදනා නගමින් කෑ ගසන්නට වූහ. තරග සංවිධායකයින්ට ඔවුන් සංසුන් කර නිහඬ කරවීම සඳහා තමන් සත්කාරක රාජ්‍ය බව සිහියේ තබාගන්නා ලෙස නිවේදනයක් නිකුත් කිරීමට පවා සිදු විය.
තරගය නිම විය. සෝලා බඩ් තරගය නිමකළේ සත් වැන්නා ලෙසය. ඩෙකර් පාර්ශවයේ විරෝධතා සැලකිල්ලට ගත් ඔලිම්පික් බලධරයින් සෝලා ව තරගයෙන් ඉවත් කිරීමට කටයුතු කළහ. නමුත් විමර්ශනයේ දී වීඩියෝ දර්ශන වලින් අනාවරණ වූයේ පොකුරෙන් මිදෙන්නට තැත් කරන සෝලා බඩ් ගේ පාවහන් රහිත කකුලේ ඇඟිලි, ළඟ ළඟම කිහිප වරක් මේරි ඩෙකර් ගේ සපත්තුවට පෑගෙන බව ය. සෝලා බඩ් ක්ෂණිකව කකුල ඉවත් කරගැනීම නිසා ඩෙකර් ගේ සමබරතාව ගිලිහී යාමෙන් මේ අනපේක්ෂිත අනතුර සිදු වූ බව හෙළිදරවු විය. සෝලා බඩ් ව චෝදනාවෙන් නිදහස් කරන ලදි.
අවසාන ප්‍රතිඵලය වූයේ ලෝක සූරියන් දෙදෙනාගේම ඔලිම්පික් පදක්කම් සිහිනය , සිහිනයක් ලෙසින්ම ඉතිහාසයට එක් වීම ය. සෝලා බඩ් එම තරගය හිතාමතාම හත් වැනියා ලෙස අවසන් කළේයැයි විචාරකයන් නැගූ චෝදනාව ඇය පසුව පිළිගන්නීය. "අර වගේ උණුසුම් වෙලා තියෙන ක්‍රීඩා පිටියක , සෙනග කේන්තියෙන් එහෙම කෑ ගහනකොට මම කොහොමද පදක්කමක් දිනන්නේ" සෝලා හේතු ඉදිරිපත් කළා ය. "මම බය වුණා. මම උවමනාවෙන්ම පරදින්න හිතුවා"
මිත්‍රවරුනි .. වැරදි පූර්වනිගමන සහ අර්ථකථනයන්ට නිවැරදි මිනිසුන්ගේ ගමන්මග පවා අවහිරකිරීමට හැකි බවට ජීවමාන නිදසුන සපයන්නේ පාවහන් රහිත දුවන්නිය , සෝලා බඩ් ය.
ඇය තරගය අවසන් කළාය. නමුත් පදක්කමක් හිමි නොවන ලෙස ය.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment