අගෝස්තු 05 : හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ සිය දිවි නසාගනී


1962 වසරේ අද වැනි දවසක හොලිවුඩය මුසපත් කළ මැරිලින් මොන්රෝ රිදී තරු වියන අතැර මරු වැළඳගන්නීය. විෂ ඖෂධ ශරීරගත වීමෙන් සිදු වූ සිය දිවි හානි කරගැනීමකැයි පැවසුණද , මෙය විසි වෙනි සියවස කැළඹූ , අදටත් ප්‍රශ්නයක් ඉතිරි කළ මරණයක් ලෙස සැලකේ.

"ඔබට නිරූපිකාවක් වන්නට බෑ. කරුණාකර යතුරු ලියන්නියක වන්නට පුහුණු වෙන්න. ඒත් නැතිනම් ගෘහණියක් වීමට " යනුවෙන් 1946 දී සුප්‍රකට බ්ලූ බුක් නිරූපණ ආයතනය (Blue Book Modeling Agency) නෝමා ජීන් බේකර් ( Norma Jean Baker) නම් තරුණියක නිරූපිකාවක් වීමේ සිහිනයෙන් එවූ අයදුම්පත ප්‍රතික්ෂේප කළහ. එවකට විසි හැවිරිදි වියේ පසු වූ නෝමා කිසිදිනෙක යතුරු ලියන්නියක හෝ ගෘහණියක වූයේ නැත. ඇය ජනකාන්ත තාරකාව මැරිලින් මොන්රෝ (Marilyn Monroe) බවට පත් වූවාය. කෙටි කලකින් හොලිවුඩය සලිත කළ සරාගී දෙව්දුව බවට පත් වූ නෝමා ජීන් බේකර් හෙවත් මැරිලින් මොන්රෝ දසකයක් යන්නට මත්තෙන් රිදී තිරයේ වැඩිම අයකිරීමකින් යුතු නිළිය බවට පත් වන්නීය.
අසාර්ථක විවාහ තුනකින්ම විඩාවට පත්ව සිටියද මේ රූපිකාව කෙරෙහි ලොල් වූවන්ගේ නිමක් නොවීය. ඒ අතර ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ද වූ බව ලොවම දන්නා රහසකි. නමුත් මැරිලින් මොන්රෝ කා වෙත හෝ නොබැඳෙන්නී මෙසේ පැවසුවාය. " මා මෙලොව කිසිවෙකුටත් හිමිවන්නේ නැත. මන්ද යත් මා මේ ලෝකයටම හිමි බැවිනි" මොන්රෝ ට අනාගතය දැකීමේ හැකියාවක් තිබුණා ද විය හැකිය. කිසිවෙකුටත් හිමි නොවූ මේ සදානන්දකර සරාගිනිය 36 වැනි වියේදී හුදෙකලාව දරා ගත නොහැකි තැන මරණයේ සුන්දරත්වය සොයා නික්ම තිබිණ.
මැරිලින් මොන්රෝ සිය දිවිය අතැර ගියාද ,නැතිනම් ඇයව ඝාතනයකට ලක් වූවාද යන්න බොහෝ දෙනෙක් නගන පැණයකි. ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි සමග තිබූ සබඳතාව නිසාම ඇයව ඝාතනය කරන්නට සී.අයි.ඒ සංවිධානය කටයුතු කළ බවට මතයක් පවතී. " අඩුම තරමේ මොන්රෝ නම් එහෙම හරි මේ පීඩාවෙන් ගැලවුණා" ගැඹුරු හදවතක් ඇති , සියුමැලි ගැහැණිය ජැකලීන් කෙනෙඩි තම ස්වාමි පුරුෂයා ගේ අනියම් පෙම්වතිය ගේ මරණය පිළිබඳ එසේ පවසන්නේ ජනපති කෙනෙඩි ඇය ඉදිරියේම ඝාතනය වීමෙන් පසුවය.
දිනය 1962 වසරේ අගෝස්තු 05 වැනිදා ය. ගෘහපාලිකාව වූ මුරේ මහත්මියට හැඟී යන්නේ ස්වාමිදුව වූ මැරිලින් ගේ නිදන කුටියේ හැලහොල්මනක් නැති බවයි. ඇය දොරට තට්ටු කර ප්‍රතිචාර නොමැති තැන මැරිලින් මානසික වෛද්‍යවරයා කැඳවීය. ඔහු පැමිණියේය. නිදන කුටියට ඇතුළුව පරීක්ෂා කර බලා සරාගී තාරකාව සදහටම නිවී ඇතැයි කණගාටුවෙන් වුවද තහවුරු කළේය.
වෙස්ට්වුඩ් මෙමරියල් පාර්ක් හි ( Westwood Memorial Park ) මළවුන්ගේ භෂ්මාවශේෂ බහාලන සේප්පු සමූහයකි. අංක 24 යනු මැරිලින් මොන්රෝ ලැගුම් ගෙන සිටින කුඩා කුටියයි. සමාදානයේ සැතපෙන්නට යැයි සිතා අවසන් කටයුතු පුද්ගලිකව සිදු කළද මොන් රෝගේ අවසන් ලැගුම් හළ නරඹන්නට ඇදී එන රසික රසිකාවියන් දහස් ගණනෙකි. ඇගේ ලැගුම් හලට ඉහළින් ඇති සේප්පුව ඇමරිකානු ඩොලර් මිලියන හතරක් ඉක්මවූ ලංසුවකින් විකිණෙන්නේ මොන්රෝ අසල සමාදානයේ සැතපෙන්නට හෝ තවමත් සිහින මවන රසික පිරිසක් සිටිනා නිසාය. Marilyn Monroe (1926 - 1962) යනුවෙන් මතුපිට සටහන් කළ ඇගේ අවසන් මතකයන් රැගත් සේප්පු දොරෙහි නිබඳවම රැඳුණු මල් පොකුරකි. සතියකට තුන් වතාවක් එ'මල් එවන්නට සලසන්නේ ඇගේ දෙවැනි ස්වාමි පුරුෂයා වූ ජෝ ඩිමැජියෝ ය (Joe DiMaggio) . දින 274 ක් වැනි කෙටි කාලසීමාවකින් ඔවුන්ගේ විවාහය අවසන් වුවද , 1999 වසරේ මෙලොව හැර යන තෙක්ම ඔහු තනිකඩව ජීවිතයක් ගත කළේය. ඔහු මිය ගියේය, නමුත් නොකඩවා සතියකට තුන් වතාවක් ඇය අස මල් සුවඳ රඳවනු පිණිස ඉදිරි කටයුතු සම්පාදනය කළේය.

අන්ධකාර අහසක් අරා ඒ දීප්තිමත් තාරකාව නැගී සැණින් නිවී ගියේය. මැරිලින් මොන්රෝ වරක් මෙසේ පැවසුවාය. " වෙනත් කෙනෙක් සමග අසතුටින් ජීවත් වනවාට වඩා අසතුටින් තනිව ජීවත් වීම අගනේය" ඇය එ තනි මග තෝරාගත්තේදැයි දන්නේ ඇයම පමණි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ඔබට බෙහෙවින්ම ස්තුතියි වටිනා තොරතුරු සහිත ලිපි අප වෙනුවෙන් සම්පාදනය කරනවාට.

    ReplyDelete
  2. තොරතුරු වලට හුඟක් ස්තූතියි

    ReplyDelete