වෙස් මුහුණු


ඊ ළඟට බස් එකට නැග්ගේ ටියුබ් ලයිට් ගිලින කෙනෙක්. ශාන්ත ජනේලෙන් එළිය බලා ගත්තේ ඔය වික්‍රමය බලාගෙන ඉන්න බැරි හන්දයි. පරණ නෑදෑයෙක් දැක්කා වගේ ගුණසිංහ පිළිමේ දිහා බලාගෙන ඉන්නකොට ටියුබ් ලයිට් හාදයා කතාව පටන් ගත්තා." මේ බස් රථයේ ගමන් ගන්න වාසනාවන්ත ..... " නාසික්‍ය ස්වරයකින් ඇහෙන ඒ හඬ කොහේදි හරි අහලා තියෙනවා. ශාන්ත ඔළුව හරවලා බැලුවා. එක්කෝ බැලුවා නෙමෙයි -ඉබේම බැළුණා. "ප්‍රසාද් !" සීට් එකෙන් නැගිට්ටෙන්න ගියත් ආයෙමත් වතාවක් ඒ මූණ පරීක්ෂා කළා. ඒ කාලේ හඳක් වගේ තිබ්බ මූණ දැන් කළු වෙලා වැහැරිලා. ඒත් වම් ඇහිබැමට උඩින් තිබ්බ කැළල තාමත් එහෙමමයි. ප්‍රසාද් ! පෙරහැර දවසක තාප්පෙන් වැටිලා වුණු තුවාල කැළලත් එක්ක අවුරුදු විස්සකට විතර පස්සේ එක අතකින් ටියුබ් ලයිට් කෑල්ලකුත් අරන්. එයා දැන් කීයටවත් අඳුනගන්න එකක් නැහැ කියලා හිතලා ශාන්ත ජනේලෙන් එළියට ඔළුව හැරෙව්වා.

ඒ කාලේ ප්‍රසාද් රතුම රතුයි. හරි සෙල්ලක්කාරයා. පොඩි කට්ටිය එක්ක හොරෙන් ක්‍රිකට් ගහන්න වගේම ගස් නැගලා අඹ කඩලා දෙන්නත් බය නැහැ. කට්ටිය තාප්පෙන් එහා පැත්තේ වාඩිවෙලා අඹ කනවා. වැටිලා තියෙන අඹ අහුලන් යන ගෑණු ළමයින්ට "ලුණු ඕනේද" කියල හැංගිලා ඉන්න ප්‍රසාද් විහිළු කරනවා. ඒ ඇරුණම බල්ලව නාවන එකත් එයාගේ රාජකාරියක්. කාලෙන් කාලෙට බල්ලෝ කීපදෙනෙක් හිටිය නිසා ඒ රෙක්ස් ද සින්ඩි ද කියලා මතක නෑ. හැබැයි කළුම කළු බල්ලෙක්. ප්‍රසාද්ව එක්කගෙන ඇවිල්ල තිබුණේ දෙවනි නිසා පොඩි පහේ උජාරුවකුත් නොතිබ්බාම නෙමෙයි. ඒත් ඒ කාලේ ප්‍රසාද්ව පෙනුණේ අපිට යන්න හිතන්නවත් බැරි හඳට ගිය නීල් ආම්ස්ට්‍රෝං වගේ නේද කියලා ශාන්තට හිතුණා.

"ඔය යතුර තමයි බලයේ සංකේතය. හරියට ලුසිහාමිගේ ගිරය වගේ " සුමංගල අත් දෙකට පිඹ පිඹ කියන හැටි ශාන්තට මැවිලා පේනවා. ඒ එයාගේ හැටි. කැම්පස් යන්න එක ලකුණක් මදි වුණ දා ඉඳන් කල්පනාව අඩු වුණා. අරලිය වැට ළඟ ඉඳන් අත් දෙකට පිඹ පිඹ පාර දිහා බලන් ඉන්න ගමන් තේරෙන්නේ නැති කතා කියනවා.කුණුහරුපම නෙමෙයි හැබැයි. ලුසිහාමිගේ ගිරය නොතේරුණත් ඒ නම් කිව්වේ ප්‍රසාද් ගේ සාක්කුවේ තියෙන යතුරු කැරැල්ල ගැන. දෙවනිගේ යතුරු ප්‍රසාද්ට ඇරෙන්න වෙන කාටවත් දුන්නේ නැහැ. ඉස්සර ඉඳන්ම ඒ යතුරු දීලා යන්නේ ගෝලයටයි කියලා ලොක්කා කාත් එක්ක හරි කියපු එකයි "ගෝලයො නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා - ඒත් දෙවෙනි නම් වෙනස් වෙන්නේ නෑ මහත්තයෝ " කියලා හිනාවුණු එකයි ශාන්තට හොඳට මතකයි.

ටියුබ් ලයිට් එකක් හපලා කන ප්‍රසාද්ගේ නහර පෑදුණු බෙල්ල හැමෝටම පේනවා. ශාන්තට මතක් වුණේ ඒ කාලේ. හොරෙන් සිගරට් බීලා අහුවුණාම දෙවෙනි විතරක් නෙමෙයි ලොක්කත් ප්‍රසාද්ට තඩිබාලා තියෙනවා. දහම්පාසලේ ගෑණු ළමයෙක්ට ලියුමක් දීලා අහු වුණ දවසේ නම් දෙවනි ප්‍රසාද්ගේ පිට තුවාල වෙනකම්ම වේවැලෙන් ගැහුවා." ඕ ලෙවල් පාස් වෙන්නවත් බැරි පරයා. තොට දැන් අඩු ගෑණියෙක් විතරද ?" එදා මාරාවේශයෙන් හැසිරුණු දෙවෙනිත් එක්ක ප්‍රසාද් මාසයක් විතර යනකං කතා කළේ නැහැ. ඇත්ත තමයි. ඒ වෙනකොටත් ප්‍රසාද් ඉස්කෝලෙ යන එක නවත්තලා. පොඩි කෙනෙක්ට අසනීපයක් වුණාම ඉස්පිරිතාලෙට අරං යන එක පවා කරගෙන හිටියට ප්‍රසාද් ටික ටික ටවුන් එකේ රස්තියාදු ගහන්න පුරුදු වුණා. හදිසියේම ඉන්න බැහැ - ගෙදර යනවා කියලා ගිය මිනිහා ආයේ ආවේ නැහැ. දෙවෙනිත් වෙනදා වගේ හොයන්න උනන්දු වුණේ නැහැ. " රැවුල් ගස් දෙක වැවුණා විතරයි . ඌට මඟුල් විසේ ගැහුවනේ නෝනා මහත්තයෝ " ප්‍රසාද් ගැන අහපු වැඩිහිටි කාන්තාවකට එහෙම උත්තර දුන්න දෙවෙනි අලුත් ගෝලයෙක් එක්කගෙන ඇවිත් තිබුණා. ඊළඟ සතියේ දවල් එළියට යනකොට දෙවෙනිගේ යතුරු කැරැල්ල අලුත් ගෝලයා ගාව. සුමංගල වැට ළඟට වෙලා අත් වලට පිඹ පිඹ පාර බලා හිටියා.

මාසෙකට විතර පස්සේ ප්‍රසාද් හදිසියේම ආවා. දෙවෙනි වැඩිපුර ගණන් ගත්‍තේ නැහැ. ඒත් ලොක්කා නම් වෙනදා වගේම කතාබහ කළා. එදා රෑ ප්‍රසාද් කවදාවත් නැතිව පොඩි කට්ටිය ළඟින් පැදුරක් දාගෙන නිදාගෙන ඉඳලා පහුවෙනිදා පිටත් වෙලා ගියා. හවස් වෙනකොට ඔන්න ලොකු කලබලයක්. ගබඩා කාමරේ කවුරුහරි කඩලලු. ශාන්ත මිදුල අතුගාන අතරේ පොලිසියෙන් ආවා. ප්‍රසාද් ව අල්ල ගත්ත බව දැනුම් දුන්නා. හොරාගත්ත බඩු සරණංකරේට විකුණලා තිබිලා හොයා ගත්තා. වෙනදා ගේන්නෙත් ප්‍රසාද් නිසා සැක කළේ නැහැ කියලා සරණංකර මුදලාලි කියපු කතාවට පොලිසියේ අයට හිනාවක් ගියා. ලොක්කා විජහට ගිහින් ප්‍රසාද්ව බලලා ආවා. ඒත් දෙවෙනි ඒ පැත්තේවත් ගියේ නැහැ මදිවට කිසිදෙයක් නොවුණා වගේ හැසිරුණා. මේක දුරදිග ගෙනියන්න ඕනේ නැහැ කියලා ලොක්කා පොලිසියට කියන අතරේ තමයි ප්‍රසාද් රාලහාමි කෙනෙක් අතේ දෙවෙනිට ලියුමක් එවලා තිබ්බේ. රාලහාමි ඒක දෙන්න කලින් ෆොටෝකොපියක් ගහගෙන තිබුණ නිසා ටවුන් එකම ලියුම ගැන දැනගෙන තිබුණා. ශාන්තලා , සාරද ලා ඒ කාලේ පොඩියි. ඒ ලියුමේ දෙවෙනි ගැන නරක දේවල් තිබ්බද කියලා අහන්න හිටියේ සුමංගලගෙන් විතරයි. ඒත් එයා දෙඩෙව්වේ වෙන විකාරයක්. "මම දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසය තැබූ පමණටම ඔබ කෙරේ ද විශ්වාසය තැබීමි .දෙවියන්වහන්සේ වූ කලී මට මිටියකින් විනාශ කළ හැකි, මැටියෙන් තැනූ භාණ්ඩයක් පමණ ය. ඔබ බොරුවකින් මා මෝඩ කෙළෙහිය" කියලා සුමංගල අත්වලට පිඹින කොටම සාරද දමලා ගහලා ගියා. " ඇටමැස්සා පොතේ ආතර් පාද්රේටත් ඔහොම ලියුමක් ලිව්වා " සුමංගල ගණනක් නැතිව ශාන්තට කිව්වා. එතනින් ඒ කතාව නැවතුණා. ඇටමැස්සා කවුද ? පාද්රේ කවුද කියලා ශාන්තට අදටත් තේරුමක් නැහැ.

ප්‍රසාද් විතරක් නෙමෙයි - තමනුත් වෙනස් වෙලා කියලා මතක් වෙනකොට ටියුබ්ලයිට් වික්‍රමය ඉවරයි. කට ඇරගෙන හිටිය තරමට නම් සල්ලි එකතු වුණේ නම් නැහැ. ශාන්ත ඉක්මණින් සාක්කුව ඇදලා රුපියල් පන්සීයක් අරගෙන දික් කළේ ප්‍රසාද් පුදුමයෙන් බලයි කියලා හිතාගෙන. ඒත් එයා ගාණක් නැතුව ඊළඟ සීට් එක ගාවට ගියා. ඒ යන ගමං පල් හිනාවක් එක්ක "පිං සිද්ධ වෙනවා ශාන්තධම්මට" කියලා හෙමින් මිමිණුවා .ඒ පාර පුදුමයෙන් පුදුම වුණු ශාන්ත ආයෙත් පාරක් ජනේලෙන් එළියට ඔළුව දැම්මා.


දිනමිණ | වසත් සුළඟ | කෙටිම කෙටි | 2017 ජූලි 11
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments: