ජූලි 22 : 1976 ඔලිම්පික් උළෙලේ වංචනික සෝවියට් කණ්ඩායම පංච ප්‍රයාම ඉසව්වෙන් නෙරපනු ලැබේ

 

1976 වසරේ අද වැනි දවසක මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ වංචාවකට වැරදිකරු වූ සෝවියට් කණ්ඩායම පංච ප්‍රයාම ඉසව්වෙන් ඉවත්කරනු ලැබිණ.
පංච ප්‍රයාම හෙවත් Modern Pentathlon යනු එක් ක්‍රීඩකයෙක් තරග ඉසව් පහකට සහභාගී විය යුතු තරගයකි. 1912 වසරේ සිට ඔලිම්පික් උළෙලට ඇතුළත් වන මෙම තරග අංශය සඳහා කඩු හරඹ , මීටර 200 නිදහස් ආර පිහිනීම , ඉලක්කයට වෙඩි තැබීම (පිස්තෝල) , අශ්වාරෝහක පිණුම් සහ මීටර 3200 ක දිගු දුර ධාවනය යන ඉසව් පහ ඇතුළත් වේ. තරග ඉසව් පහ සඳහා හිමිකරගත් ලකුණු එකතුව අනුව පදක්කම් පිරිනැමෙන අතර කේවල සහ කණ්ඩායම් වශයෙන් තරග අංශ දෙකක් පවතී.
1976 මොන්ට්‍රියල් උළෙලට පෙර අවසාන වශයෙන් පැවති 1972 මියුනිච් උළෙලේ මෙම තරග අංශයේ කණ්ඩායම් රන් පදක්කම හිමි වූයේ සෝවියට් රුසියාව (USSR) ට ය. කේවල තරගයේ ද රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම සෝවියට් කණ්ඩායමට හිමි වූ අතර රිදී පදක්කම දිනූ බොරිස් ඔනිචෙන්කෝ (Boris Onishchenko) 1968 ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් අංශයේ රිදී පදක්කමට ද දායක වූ ක්‍රීඩකයෙක් වූ අතර 1976 මොන්ට්‍රියල් උළෙලට සහභාගී වන විටත් තුන් වතාවක් ලෝක සූරතාව දිනූ අයෙකි. මොන්ට්‍රියල් උළෙල වන විට 39 හැවිරිදි වූ බොරිස් එම තරග අංශයේ වැඩිමහලුම ක්‍රීඩකයා මෙන්ම රන් පදක්කම් අපේක්ෂිත ක්‍රීඩකයා ලෙස ද හඳුන්වනු ලැබිණ.
පංච ප්‍රයාම තර අංශයේ මුල්ම ඉසව්ව වූ අශ්වාරෝහක තරගය අවසානයේ සෝවියට් කණ්ඩායම සිව්වැනි තැනට ඇද වැටී තිබිණ. ඉන් අනතුරුව පැවතියේ කඩු හරඹ ඉසව්වයි. සෝවියට් පිලේ ප්‍රබලතම තරගකරු වූ බොරිස් ඔනිචෙන්කෝ ඒ සඳහා සහභාගී වූ අතර බ්‍රිතාන්‍යය සමග පැවති පළමු තරගයේ දී බොරිස් විසින් ඒඩ්‍රියන් පාර්කර් (Adrian Parker) පරාජය කළ ද බ්‍රිතාන්‍ය කණ්ඩායම බොරිස් ගේ කඩුවෙහි (épée) අසාමාන්‍ය බවක් නිරීක්ෂණය කර තිබිණ. බොරිස් ගේ කඩු තුඩ අනෙක් පාර්ශවයේ ස්පර්ශ නොවන අවස්ථා වලදී පවා එය ස්පර්ශ වූ බවට විද්‍යුත් සංඥාව හැඬවෙන බව ඔවුන් නිරීක්ෂණය කර තිබිණ. බොරිස් ගේ දෙවැනි තරගය පැවතියේ බ්‍රිතාන්‍ය කණ්ඩායම් නායක ජෙරමි ෆොක්ස් (Jeremy Fox) සමගිනි. ජෙරමි ද එම අත්දැකීමට මුහුණ දුන් අතර බ්‍රිතාන්‍ය කණ්ඩායම බොරිස් ගේ කඩුව පිළිබඳ පැමිණිලි කිරීමට කටයුතු කළහ. තරගය අතරමැද නවතා එම කඩුව තරග තීරක කමිටුවට භාර කළ අතර වෙනත් ආදේශක කඩුවක් මගින් තරග කළ බොරිස් විශාල පරතරයකින් ජයග්‍රහණය කළ ද බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා ඔහුට තරගයෙන් පසුව ආචාර කිරීමට ද මැලි විය.
තරග තීරකයින්ගේ තීන්දුව ලැබෙන විට බොරිස් ඔනිචෙන්කෝ ජය ලබා තිබිණ. නමුත් ඔවුන්ගේ තීරණය සහ අනාවරණය සමග තරගාවලිය උඩු යටිකුරු විය. බොරිස් ඔනිචෙන්කෝ භාවිතා කළ කඩුවෙහි විද්‍යුත් ස්පර්ශක පරිපථය වෙනස් කර තිබූ අතර ප්‍රතිවාදියාගේ සිරුරේ ස්පර්ශ වීමේදී සංඥාව නිකුත් වන සම්මත පරිපථය ඔහු විසින් විකෘති කර තිබිණ. ඒ අනුව කඩු තුඩ ප්‍රතිවාදියාගේ සිරුරට කිසියම් දුරකට ළඟා වූ සැණින් ස්පර්ශ සංඥාව නිකුත් වන අතර බොරිස් හට ලකුණු හිමි වේ. වහා ක්‍රියාත්මක වන පරිදි බොරිස් ඔනිචෙන්කෝ තරගයෙන් ඉවත් කළ අතර සෝවියට් කණ්ඩායම ද තරගයෙන් ඉවත් කරන ලදි. අවසානයේ රන් පදක්කම හිමි වූයේ බ්‍රිතාන්‍යය කණ්ඩායමට ය.
එදින රාත්‍රියේම බොරිස් ඔනිචෙන්කෝව ක්‍රීඩා ගම්මානයෙන් නෙරපීමට සෝවියට් බලධාරීන් බලධාරීන් කටයුතු කළේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පවා ඔහුට තර්ජන එල්ල වූ බැවිනි. සෝවියට් අත්පන්දු කණ්ඩායම පවසා තිබුණේ ක්‍රීඩා ගම්මානය තුළ දී බොරිස් ව මුණ ගැසුණහොත් හෝටලයේ ජනේලයෙන් ඔහුව බිමට විසිකරන බවයි.
නැවතත් මව්බිම බලා යන බොරිස් හට සෝවියට් රාජ්‍ය නායකයා විසින් පුද්ගලිකව බැණ වැදුණු බව ද පැවසේ. එතෙක් ඔහු සේවය කළ රතු හමුදාවෙන් පහ කරනු ලැබූ අතර රූබල් පන්දහසක දඩයක් ද නියම විය. රාජ්‍ය නායකයාගේ අණ පරිදි බොරිස් වෙත ප්‍රදානය කර තිබූ සියලුම ගෞරව සම්මාන අවලංගු කළ අතර තම උපන් ගම වූ කියෙව් නුවර (Kiev) ටැක්සි රියදුරෙක් ලෙස කටයුතු කරන්නට බොරිස් ඔනිචෙන්කෝගේ දෛවය තීරණය කර තිබිණ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment