ජූලි 17 : අප්‍රිකානු ලීගයේ වර්ජනයත් සමග මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙල ඇරඹේ



1976 වසරේ අද වැනි දවසක අප්‍රිකානු රටවල් විසිපහක වර්ජනය සමග මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙල ඇරඹිණ.
1976 වසරේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවරදී ඔලිම්පික් උළෙල ඇරඹෙන්නේ වසර හතරකට පෙර ලෙයින් කඳුලෙන් කිළිටි වූ 1972 මියුනිච් උළෙලේ වේදනාබර මතකය ද සමගිනි. සමාරම්භක උළෙලේ කළු පැහැ රිබන් පටි පැළඳ ගමන් ගන්නා ඊශ්‍රායල ක්‍රීඩා කණ්ඩායම ය. ඒ "Black September" ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ඊශ්‍රායල ක්‍රීඩකයින් පස් දෙනා සහ පුහුණුකරුවන් හය දෙනා සිහිකරනු පිණිසය.

අප්‍රිකානු ලීගය වර්ජනයේ : ඊශ්‍රායලය ගමනේ
1972 ඔලිම්පික් උළෙලට සහභාගී වූ රටවල් සංඛ්‍යාව 121 වන විට 1976 මොන්ට්‍රියල් උළෙලට සහභාගී වන රටවල් සංඛ්‍යාව 92 ක් ලෙස සටහන් වන්නේ අප්‍රිකානු රටවල් 25 ක් ම වර්ජනය කළ බැවිනි. ඔවුන් පවසා සිටියේ නවසීලන්තය සහභාගී වන්නේ නම් තමන් ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව ය. නවසීලන්ත රග්බි කණ්ඩායම ජූනි මස 30 වැනිදා දකුණු අප්‍රිකානු තරග සංචාරයක නිරත වී සිටීම මෙම විරෝධය හටගැනීමට හේතු විය. ඒ වනවිට දකුණු අප්‍රිකාව තුළ කළු-සුදු භේදය උග්‍රව පැවති අතර එම අමානුෂික වර්ණභේද වාදයට විරෝධයක් ලෙස දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර සම්බාධක පනවා තිබිණ. 1960 රෝම ඔලිම්පික් උළෙලෙන් අනතුරුව දකුණු අප්‍රිකාවට ඔලිම්පික් දොරගුළු වැසුණු අතර එය යළි විවර වන්නේ 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලිනි. වර්ණභේදවාදය සම්බන්ධව ඒකමතික වූ ලෝක ප්‍රජාව දකුණු අප්‍රිකාවට එරෙහි දැඩි මතයක සිටින යුගයක නවසීලන්තය පමණක් එම ප්‍රතිපත්තිය කඩ කරමින් ඔවුන් සමග ක්‍රීඩා කිරීම අප්‍රිකානු රටවල උදහසට හේතුවක් විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ නවසීලන්තය මෙවර ඔලිම්පික් උළෙලෙන් නෙරපා හළ යුතු බවය. නමුත් ඔලිම්පික් කමිටුව එයට එකඟ නොවේ. ප්‍රතිඵලය වන්නේ අප්‍රිකානු ලීගය 1976 මොන්ට්‍රියල් උළෙල වර්ජනය කිරීමය.
කොංගෝව ප්‍රමුඛ කොට ගත් මෙම වර්ජනය ක්ෂණිකව එළැඹෙන තීරණයකි. එබැවින් ගයනාව , මාලි සහ ස්වාසිලන්තය වර්ජනයට එක්වන්නේ සමාරම්භක උළෙලට සහභාගී වීමෙන් අනතුරුවය. මුල් දින කිහිපයේ තරග වලට සහභාගී වූ මොරොක්කෝව , කැමරූන් , ටියුනීසියාව සහ ඊජිප්තුව එක්වරම අප්‍රිකානු ලීගය අනුගමනය කරමින් උළෙල වර්ජනයට එක් වෙයි. අවසානයේ දී 1976 ඔලිම්පික් උළෙල වර්ජනය නොකර සමස්ත උළෙලටම සහභාගී වූ අප්‍රිකානු රටවල් ලෙස ඉතිහාසගත වන්නේ සෙනගාලය සහ අයිවරි කොස්ට් රාජ්‍යය පමණකි. ආසියාතික රටක් වන ඉරාකය සහ දකුණු ඇමරිකානු රටක් වන ගයනාව ද අප්‍රිකානු ලීගයේ තීරණය සහ හේතු සාධක සමග එකඟ වී වර්ජනයට එක් වූහ.
මොන්ට්‍රියල් සිට නැවතත් මව්රට බලා : නයිජීරියාව සහ කෙන්යාව 
ඒ හැරුණු විට දකුණු අප්‍රිකාව තරග තහනම නිසාත් එල් සැල්වදෝරය සහ සයරේ රාජ්‍යය ආර්ථික අපහසුතා නිසාත් ඔලිම්පික් උළෙලට සහභාගී නොවූහ.
තායිවානය මෙම උළෙල වර්ජනය කරන්නේ එතෙක් ඔවුන් තම රට සඳහා භාවිතා කළ Republic of China (ROC) නාමය යටතේ තරග වැදීමට ඉඩ ලබා දීමට ඔලිම්පික් කමිටුව එකඟ නොවූ හෙයිනි. තායිවානයට එම නාමය යටතේ තරග වදින්නට ඉඩ ලබා නොදෙන්නේ චීනයේ හෙවත් People's Republic of China (PRC) බලපෑම මතය. එබැවින් තායිවානය 1976 මොන්ට්‍රියල් උළෙලත් , 1980 මොස්කොව් උළෙලත් වර්ජනය කරනු ලබන අතර 1984 ඔලිම්පික් උළෙලට දොර විවර වන්නේ Chinese Taipei හෙවත් චීන තායිපේ යන ආරූඪ නම ඔලිම්පික් කමිටුව විසින් ලබා දීමෙන් අනතුරුවය. අදටත් තායිවානය ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වන විට Chinese Taipei යන නාමය යටතේ තරග වැදිය යුතු අතර තායිවාන ධජය සහ ජාතික ගීය භාවිතා කිරීම තහනම් වේ. ඒ වෙනුවට ඔලිම්පික් කමිටුව මගින් ලබා දුන් සංකේතයක් සහිත ධජයක් ද , ජාතික ගීයක් ද ඇති අතර මේ සියල්ලම සිදු වන්නේ චීනයේ බලපෑම හේතුවෙනි.
2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ කාන්තා ටයිකොන්ඩෝ සැහැල්ලු බරපංතියේ රන් පදක්කම දිනා ගන්නා තෙක්ම තායිවානයට ඔවුන්ගේ නොවන චීන තායිපේ ජාතික ගීය සහ ධජය භාවිතා කරන්නට උවමනා නොවීය.
රන් පදක්කම් ලාභිනිය , චෙන් ෂිහ්-සින් (Chen Shih-hsin) පදක්කම පැළඳූ මොහොතේ හෙලූ කඳුලැලි ඉතිහාසගත වන්නේ තම උපන්බිමේ ජාතික ගීය වයන්නට හෝ ජාතික ධජය ලෙලදෙන්නට වරම් නොලත් ජාතියක වේදනාව ලොවට පවසන කඳුලැලි ලෙසිනි.
අප්‍රිකානු ලීගයට ජය උදා කර දෙමින් දකුණු අප්‍රිකාව වර්ණභේද වාදයෙන් මිදී කළු ජාතිකයෙක් රට පාලනය කරන තැනටම පත් විය.
නමුත් තායිවානය අහිමි වූ චීන තායිපේහි චෙන් ෂිහ්-සින් ගේ කඳුලැලි තවමත් වියැකී නොමැත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment