ජූලි 02 : ඇමීලියා ඉයර්හාර්ට් ලෝක සංචාරයක් අතරතුර අතුරුදන් වෙයි


1937 වසරේ අදවැනි දවසක ඇමරිකානු ගුවන් නියමුවරිය ඇමීලියා ඉයර්හාර්ට් ලෝක සංචාරයක් අතරතුර ගුවන්යානය සමග අතුරුදන් වූවාය

එවකට 39 හැවිරිදි වූ ඇමීලියා ඉයර්හාර්ට් (Amelia Earhart) ගුවන් මෙහෙයුම් ක්ෂේත්‍රයේ පමණක් නොව සිවිල් සමාජයේ ද අතිශය ජනප්‍රිය චරිතයක් ව සිටියාය. වාසනාව සහ අවාසනාව අතර දෝලනය වන , නමුත් දුෂ්කර ළමා කාලයකට මුහුණ දුන් ඇය කෙසේ හෝ තම උසස් අධ්‍යාපනය සාර්ථකව නිම කරන ලදි. ඒ කාලයේ සිට ඇය කෙරෙහි නොතිත් ආශාවක් විය. ඒ පුරුෂයින්ගේ ආධිපත්‍යය පවතින ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වීම ය. එය සිනමාව , නීතිය , කළමණාකරණය හෝ යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය වූවාට කම් නැත. ඇයට අවශ්‍යවන්නේ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමය. 



කාන්තාව යනු දුර්වල සත්වයෙක් නොවේයැයි තරයේ විශ්වාස කළ ඇමීලියා තෝරාගන්නේ ගුවන්තරණ ශිල්පය ය. ක්‍රමක්‍රමයෙන් සිය අරමුණ කරා ගිය ඈ 1927 දී සිය නිල ගුවන් ගමන ඩෙනින්සන් ගුවන්තොටුපොළේ දී (Dennison Airport) සනිටුහන් කළාය. එම වසරේ දීම චාර්ල්ස් ලින්ඩ්ස්බර්ග් ( Charles Lindbergh) මුල්වරට සැහැල්ලු ගුවන්යානයකින් අත්ලාන්තික් සාගරය තරණය කළ අතර ඇමී ගෙස්ට්  ( Amy Guest ) නම් ගුවන් නියමුවරිය ට ද එම දස්කම කළ පළමු කාන්තාව වීමේ උවමනාවක් ඇති විය. නමුත් ඇමී ව්‍යාපෘතිය ආසන්නයේ දී මේ ගුවන් ගමන තමාට දැරිය නොහැකි බව පවසා සිටි අතර වෙනත් නියමුවරියක් හට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. " ඔබ කැමතිද අත්ලාන්තික් හරහා පදවන්න  ?' ඇමීලියා ඉයර්හාර්ට් ට ඒ ඉතිහාසගත කැඳවුම ලැබෙන්නේ දුරකතනය හරහා ය. අවසානයේ දී 1928 වසරේ ජූනි 19 ඇමීලියා ගුවන් යානයෙන් මිහිමත පා තබන්නේ අත්ලාන්තික් සාගරය තරණය කළ පළමු ගුවන් නියමුවරිය ලෙසිනි. ලින්ඩ්බර්ග් ගේ දක්ෂතාව තාමට ද හැකි බව සනාථ කළ ඇමීලියා එතැන් පටන් " ලේඩි ලින්ඩි " (Lady Lindy)ලෙස හැඳින්වූ බවත් සුපිරි තාරකාවක් ලෙස අවධානයට පාත්‍ර වූ බවත් පැවසේ. 

ලොව වටා ගුවන් සංචාරය ඇමීලියා ගේ ඒකායන අරමුණ විය . 1937 මාර්තු 17 දින ඇමීලියා , ෆ්‍රෙඩ් නූනන් (Fred Noonan) සහ තවත් දෙදෙනෙක් ඕක්ලන්ඩ් සිට හොනොලුලූ දක්වා (Oakland - Honolulu)  ගුවන් ගමන ඇරඹීය. නමුත් ගුවන් යානයේ දෝෂයක් නිසා පර්ල් වරායේ නාවුක හමුදා පථයකට ගොඩ බසින අතර අලුත්වැඩියාවෙන් අනතුරුව ඇමීලියා විසින් යානය ගුවන්ගත කරන මොහොතේම අනතුරට ලක්වේ. ඒ හරහා යානයට දැඩි හානි සිදු වූ අතර එය නැවතත් අලුත්වැඩියා කිරීම සඳහා නැව්ගත කිරීමට සිදු වේ. 

1937 ජූනි 01 දින ඇමීලියා ඉයර්හාර්ට් සහ ෆ්‍රෙඩ් නූනන් යන දෙදෙනා  පමණක් තම ලෝක ගුවන් සංචාර සිහිනය සැබෑ කරගැනීමට මියාමි ගුවන් තොටින් 9Miami ) ගුවනට පිවිසේ. ජූනි 29 වැනිදා ගිනියාව තෙක්ම ක්‍රමානුකූලව , සැලසුම් පරිදි ගුවන් යානය මෙහෙයවීමටත් නිවැරදි උපදෙස් සමග පියාසර කිරීමටත් ඔවුන් සමත් විය. ඔවුන් ඒ වන විට  අපේක්ෂිත සංචාරයෙන් කිලෝ මීටර 35,000 ක ප්‍රමාණයක් නිම කර තිබූ අතර තව ඉතිරිව තිබුණේ කිලෝ මීටර 7,000 ක දුරක් පමණකි. 

1937 ජූලි 02 දින ගිනියාවේ  Lae ගුවන් පථයෙන් ඇමීලියා සහ ෆ්‍රෙඩ් නූනන් ගුවන්ගත විය. ඔවුන්ගේ ඊ ළඟ ගමනාන්තය වූයේ කිලෝ මීටර 4,000 ක් දුරින් පිහිටි හොව්ලන්ඩ් දිවයිනය (Howland Island) . නමුත් ඇමීලියා සහ ෆ්‍රෙඩ් පිළිබඳ අවසාන සාක්ෂිය ලෙස වාර්තා වන්නේ නුකුමනු දූපත ( Nukumanu Islands)  ආසන්න ගුවන් කලාපයක දී ය.   


එතැන් පටන් සියල්ලම ඉතිහාසයට එක් විය. ඇමීලියා ඉයර්හාර්ට් සහ ෆ්‍රෙඩ් නූනන් අතුරුදන් වූ සේ සලකා මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වූවද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවීය. බොහෝ දෙනෙක් විශ්වාස කළේ ඉන්ධන අවසන් වී ඔවුන්ගේ යානය මුහුදට වැටෙන්නට ඇති බවය. එසේත් නැත්නම් ඇයගේ ගුවන් යානය පුපුරා යන්නට ඇති බව ද විශ්වාස කළ නුමුදු මේ උපකල්පන කිසිවෙකට සරිලන සාක්ෂි , සුන්බුන් කිසිවක් සොයා ගන්නට නොලැබිණ.

ඇමීලියා ඉයර්හාර්ට් යනු දෙවන ලෝක යුද්ධයේ ඇමරිකානු රහස් ඔත්තු නිළධාරිනියක් බව ද ඇයගේ ගුවන් ගමන් වල අරමුණ වූයේ රහස් ඔත්තු සේවාව බව ද පැවසුණත් මේ සියලුම කරුණු සාක්ෂි විරහිත උපකල්පන සහ විකල්ප අදහස් ලෙස ම රැඳී පවතී. 

ඇමීලියා ඉයර්හර්ට්ගේ සහ ෆ්‍රෙඩ් නූනන්ගේ ඉරණම අද වන තුරුම අබිරහසක් ව පවතී. 
නමුත් ඇමීලියා ඉයර්හර්ට් නිහඬව සහ ක්‍රියාවෙන් පුරුෂාධිපත්‍යයට එරෙහි ව කළ විප්ලවය සදා ජීවමානව පවතිනු ඇත. 


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. මේ දැනුම මේසේ පෙළ ගැස්වීමේ වට්නාකම කියා නිමකළ නොහැක. ස්තුතී මල්ලී

    ReplyDelete