සරසවි ශිෂ්‍යයාගේ මරණය


ප්‍රවෘත්ති සංස්කාරක තුමනි ,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් " කසුන් හේරත් " නම් සරසවි ශිෂ්‍යයාගේ ( ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද සඳහන් විය ) මරණ පරීක්ෂණයේ සාක්ෂි සටහන මේ සමග එවා ඇත. එදින දවල්වරුවේ මා හදිසියේ හෘදයාබාධයකට ලක් වූ නිසා මරණ පරීක්ෂණය මුළුමණින්ම ආවරණය කිරීමට අපොහොසත් වීමි. තවමත් කිසිදු ලේඛන කාර්‍යයක යෙදීමට නොහැකි බැවින් මෙය මා ළඟ තබාගෙන පලක් නැතැයි සිතමි. නියමිත කාලවකවානුව තුළ ප්‍රවෘත්තිය පළ නොවීම පිළිබඳව කණගාටු වෙමි.
දුෂ්‍යන්ත කරුණාතිලක - මහනුවර

* මරණකරුගේ පෙම්වතියගේ කට උත්තරය
--------------------------------------------------------------------- 
මම පී.එච්. සුලක්ෂි. වයස 19 යි. ගම අකුරැස්සේ. මම වැඩ කරන්නේ වරාගොඩ ඉටිපන්දම් ෆැක්ටරි එකේ. මේ මැරිලා ඉන්න කසුන් මා එක්ක යාලු වුණේ මාස අටකට විතර කලින්. එයා හිටියේ කැළණිය කැම්පස් එකේ - දෙවැනි අවුරුද්දේ. අපි හරිම දුප්පත් පවුලක්. අම්මා ඉන්නේ කුවේට් වල. කසුන්ලා නුවර සල්ලි තියෙන කට්ටියක් නිසා මා ගැන දැම්ම ගෙදරට කියන්න බෑ කියලා හිටියේ. ඔව් . . . . අපි නිතරම මුණ ගැහුණා -සතියේ දවස් වල හවසට. මොකද එයා සතියම හොස්ටල් එකේම ඉන්න අමාරුයි කියලා සෙනසුරාදා ඉරිදට මහරගම ඉන්න මාමාලගේ ගෙදර යනවා. අපි අතර නම් ප්‍රශ්න තිබුණේ නෑ සර්.... ඒත් එයා මට කියලා තිබ්බා එයාට මරණ තර්ජන තියනවා කියලා. කැම්පස් එකේදි එයා දේශපාලනය කරන නිසා එක කට්ටියක් එයා එක්ක තරහයිලු. ඒ ගොල්ලෝ කසුන් පස්සෙ ඔත්තුකාරයෝ පවා දාලා තිබ්බා. ඔව්........ මම දැකලා තියෙනවා . කීප දවසක්ම එයා මා එක්ක බස් හෝල්ට් එකේ ඉන්නකොට , කඩවල් වල ඉන්නකොට පෙන්නලා තියෙනවා එහෙම ඔත්තු බලන්න එන අයව. දැක්කම නම් හිතන්න බෑ එහෙම අය කියලා. බෑ........අඳුනගන්න බෑ. එක එක දවසට එක එක අයනේ එන්නේ. ඒ නිසයි මම කසුන් ගැන ආරංචියක් නැති වුණු ගමං පොලිසියට කිව්වේ. (හඬා වැටෙන්නට වූ සාක්ෂිකාරිය ක්ලාන්ත වේ)


* මිතුරු සිසුවාගේ කට උත්තරය
-------------------------------------------------- 
මම හසිත ගිනිගේ. වයස අවුරුදු 22 යි. ගම අම්බලන්ගොඩ. මම කසුන් එක්ක ආර්ට් ෆැකල්ටියෙයි හොස්ටල් එකෙයි දෙකේම එකට හිටියා. කසුන් කියන්නේ කිසිම කලබලයක් නැති කෙනෙක්. ඔව්........ එයා අඩුවෙන් කතා කරන , හැම වෙලාවෙම මහන්සි වෙලා පාඩම් කරන කෙනෙක්. අඩුම ගාණේ ට්‍රිප් එකක් යන්නෙවත් , බියර් එකක් බොන්නේවත් නෑ. ඔව්........ සමහර වෙලාවට අපි අඬ ගහනවනේ. අනික එයා වීක් එන්ඩ්ස් වලටත් හොස්ටල් ඉන්නේ නෑ. මහරගම ඉන්න මාමා කෙනෙක්ගේ අහ යනවා කියලා මාත් දන්නවා. නෑ........කසුන් දේශපාලන වැඩ වලට ගියේ නෑ. අඩුම ගාණේ නාට්‍යයක් වත් බලන්න එන්නේ නෑ. ඔව්ེ........ ගෙවල් නුවර , ඉස්කෝලේ ගියේ ධර්මරාජේ කියලා නම් දන්නවා. හැබැයි ගෙදර අය ගැන වැඩි විස්තරයක් නම් දැනං උන්නේ නැහැ. එයා කියලත් නැහැ. හැම මාසේම වියදමට ගෙදරින් සල්ලි දාන බව දන්නවා. මම දන්නේ ද ? ........ ඇයි සමහර මාස වල මමත් කසුන් එක්ක බැංකුවට ගිහිං තියෙනවානේ.

නැතුව ?........ සුලක්ෂිව මට කලිනුත් දෙතුන් පාරක් මුණ ගැහිලා තියෙනවා. එක පාරක් කසුන් මයෙ ෆෝන් එකෙන් මැසේජ් යැව්වා එයැයිගෙ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා. සුලක්ෂි ගිය සඳුදා උදේ මට කෝල් කරලා කසුන්ව ඇහුවා. මං කිව්වා කසුන් ඉරිදා රෑත් හොස්ටල් හිටියේ නැතෙයි කියලා. පස්සෙ අපිට ආරංචි වුණා සුලක්ෂි පොලිසියේ පැමිණිල්ලක් දැම්මා කියලා. ඩීන් එවෙලෙත් මාව ගෙන්නලා ඇහුවා කසුන් හොරෙන් හරි පොලිටිකල් වැඩ වලට සම්බන්ධයි ද කියලා. මම කිව්වා වෙන්න බෑ කියලා. පත්තර වල නම් ගිහිං තිබ්බා කසුන් ශිෂ්‍ය සංගම් වලත් වැඩ කළා කියලා. අනේ මන්දා !

* මිතුරු සිසුවියගේ කට උත්තරය
--------------------------------------------------- 
මම ෂිහාරා ජයවර්ධන. වයස 22 යි. ගෙවල් නුගේගොඩ. අපේ අම්මාත් මෙහේ ලෙක්චරර් කෙනෙක් විදියට ඉන්නවා. මට හුඟක් යාළුවෝ නෑ. කසුන් මා එක්ක හුඟක් යාළු වුණා. එයා හරිම ඉනසන්ට්. කාත් එක්කවත් වැඩි ආශ්‍රයක් නෑ. හරි ස්ටූඩියස්. හැබැයි සැටර්ඩේස් වල නම් ලෙක්චර්ස් වලට එන්නේ නෑ. එදාට මගෙන් නෝට්ස් ඉල්ල ගන්නවා. හොස්ටල් එකේ ඉඳලා එපාවෙලා නිසා ඒ දවස් ටිකේ සැපට ඉන්න පුළුවන් කියලා ලෙක්චර්ස් කට් කරගෙන මාමලගේ ගෙදර ගියේ... පව් එයා ( තරුණිය ඉකි බිඳියි).

ඔව්........ මම සුලක්ෂිව දැකලා නෑ. ඒත් අහලා තියෙනවා. කසුන් ගේ ෆැමිලි එකේ අය සුලක්ෂි වගේ කෙනෙක්ට කැමති වෙන එකක් නෑ කියලා එයා මා එක්ක කියලා තියෙනවා. කසුන්ගේ ෆැමිලි එක හරිම ස්ට්‍රික් කියලා මාත් එක්ක කිව්වා. නෑ .. නෑ........ මම එයාලා කාවවත් දැකලා නම් නෑ.. ඒක තමයි ! මම බ්‍රහස්පතින්දා පත්තරේ දැකලා ෂොක් වුණා

* මුද්‍රණාල සේවකයාගේ කට උත්තරය
----------------------------------------------------------- 
මම උදය ශාන්ත. වයස අවුරුදු 42 යි. ගම පස්යාල. විජේරාම හංදියේ "පැපිරස්" ප්‍රෙස් එකේ තමයි වැඩ කරන්නේ. කසුන් මල්ලි අපේ ප්‍රෙස් එකේ පෘෆ් රීඩර් කෙනෙක් විදියට පාර්ට් ටයිම් වැඩ කළා. සෙනසුරාදා ආවාම ආයෙම යන්නේ ඉරිදා හවස. අපේ සර් එක්ක කැම්පස් හිටිය කසුන්ගේ සර් කෙනෙක් තමයි මේ ජොබ් එක සෙට් කරලා තියෙන්නේ. මිනිහා කැම්පස් එකේ අයට කියලා තිබ්බේ නෑ මෙහෙ වැඩ කරන බවක්. තරුණ කොල්ලොනේ... කියන්න ලැජ්ජ ඇති.

අපි ඉතිං සමහරදාට වැඩ ඉවර වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දානවා. ඔව් ඔව්........ කසුනුත් බොනවා. නෑ........ බියර් විතරක් නෙමේ. ඕනේ දෙයක් බොනවා. පව්!! කසුන්ට ලස්සනට සිංදුත් කියන්න පුළුවන්. එදා ඉරිදා හවස සර් රට ඉඳන් ගෙනාපු බෝතලයක් දුන්නා . කසුනුත් පොඩ්ඩක් විතර අරගෙන හොස්ටල් යනවා කියලා හිටියට බීලා නටන්න ගිහිං ෆෝන් එක උඩ තට්ටුවෙන් වට්ට ගත්තා. ටික වෙලාවකින් වෙරි වෙලා වමනේ දාන්න ගත්තාම දෙහි බෑයක් අතුල්ලලා නිදි කෙරෙව්වා. නිදි කෙරෙව්වෙද ?........ මම ඉන්නේ ප්‍රෙස් එක ඇතුළෙම තියන කාමරයක. ඒකේ. වෙලාවද ?........ වෙලාව පාන්දර 2 ට වගේ ඇති.

මම උදේ නැගිටිනකොටත් මිනිහා හොඳටම නිදි. සඳුදා මගේ ඕෆ් දවස. වෙරි බැස්සාම නැගිටියි කියලා හිතලා මම එයාව ඇහැරවන්නේ නැතිව ගෙදර ගියා. ඒත් මේ ළමයා එදත් රෑ වෙනකං එක දිගටම නිදියලනේ. පස්සේ බදාදා පත්තරේ දැකලා අපේ සර් තමයි මට කිව්වේ කසුන් ව පැහැරගත්ත කතාවක්. එතැනින් එහාට වුණු කිසිම දෙයක් තේරෙන්නේ නෑ.

* පෙම්වතියගේ කට උත්තරය - 2 වැනි කොටස
------------------------------------------------------------------------ 
එයා ඉරිදා හවස ඉඳන් ෆෝන් එක ගත්තේ නෑ. සඳුදා උදේ වෙනකොට ෆෝන් එක වැඩ කළේ නෑ. මම එයාගේ යාළුවා හසිත ට කෝල් කළාම කිව්වා කලින්දා හොස්ටල් එකට ආවේ නැති විත්තියක්. මම හවස් වෙනකං බලා ඉඳලා බය වුණු පාරට පොලිසියට ගියා. ඔව්........ මට හිතුණා එයාව කවුරුහරි පැහැරගෙන ඇති කියලා. එයා මා එක්ක කියලා තිබ්බේ එයාව කොයි වෙලාවේ උස්සයි ද දන්නේ නෑ වගේ කතා. මේ දවස්වල තියෙන පෙළපාලි හුඟකට කසුන් සම්බන්ධයි කිව්වා. ගෙදර අය දැනගත්තොත් කැම්පස් යන එක නවත්තලා රට යවයි කියන බයට එයා ඇත්ත නමින් ඉන්නේ නෑලු. මම ඉතිං ඒ ටික ඔක්කොම පොලිසියට කිව්වා.

ඔව්........ පස්සෙන්දා පත්තර වලින් කට්ටියක් ඇවිල්ලා අපේ ෆැක්ටරි එකේ නෝනාගෙන් අහලා මාව මුණ ගැහුණා. නෝනත් කිව්වා දන්න ඔක්කොම කියන්නය , පත්තරේ ඕක පල වුණොත් ගෙනිච්ච අය කරදරයක් නොකර ගෙනත් දායිය කියලා. ඉතිං මම එයාලටයි කෝල් කරපු අයටයි ඔක්කොම විස්තරේ කිව්වා. ඊ ළඟ දා පත්තරේ තිබ්බා "සරසවි ශිෂ්‍ය සංගම් නායකයා පැහැර ගනී" කියලා.

ඒ බදාදා. සිකුරාදා හවස ආරංචි වුණා එයා නුවර ගෙවල් ළඟටම ගිහිං බෙල්ලේ වැල දාගෙන කියලා. ( තරුණිය හඬා වැටේ )

* මරණකරුගේ මවගේ කට උත්තරය
---------------------------------------------------------- 
මගේ නම ආරියවතී මුණවීර. වයස අවුරුදු 53 යි. අනේ මහත්තයෝ මේ මැරිලා ඉන්නේ මගේ බාලම පුතා.( සාක්ෂිකාරිය මහ හඬින් වැළපේ) අනේ .. මට දරුවට සැපක් කියලා දෙයක් දෙන්න බැරි වුණා දෙයියනේ . ළමයින්ගේ තාත්තා මළේ බඩගින්නට කොස් කඩන්න ගිහිං ගහ පාමුල දෙරි ගහලා. ඊට පස්සේ මම මේ කොල්ලයි ලොකු කෙල්ලෝ හතර දෙනයි එක්ක හිඟා නොකෑව ටික විතරයි මහත්තයෝ.

අනේ මගේ රත්තරං කොල්ලා... දෙවැනි කෙලී කොල්ලෙක් එක්ක පලහිලව්වකට වහ කාලා මළා. ලොකු එකී ඔක්කොම දමලා ගහලා සිල් මෑණියෝ කෙනෙක් වුණා. එයා තමයි මේ දරුවවත් නුවර පන්සලට දැම්මේ. නායක හාමුදුරුවෝ බලලා හකලා කිව්වා කොල්ලා දස්සයාය මහණ කරන්න ඕනේ නෑය - උන්නාන්සේ හොයා බලලා උගන්නන්නම්ය කියලා. මම ගෙදරට වෙලා අනිත් කෙලී එක්ක සැනසිල්ලේ හිටියා. ඒකි උපතින්ම මන්ද බුද්ධිකයි. අනේ මගේ රත්තරං කොලු පැටියා. සිස්සත්තෙන් පාස් වෙලා නුවර ධර්මරාජෙටත් ගියා. විස්ස විද්‍යාලෙටත් ගියා. ඔය ඔක්කොම කළේ නායක හාමුදුරුවෝ. හැම මාසෙකම කොල්ලාගේ වියදමට උන්නාන්සේ සල්ලිත් යැව්වා. උන්නාන්සේ මතු බුදුවෙන්න ඕනේ. මගේ කොල්ලාගේ ඇස් පාදාන්න දාපු දහිරියට

අයියෝ .. මගේ රත්තරං කොල්ලා. හාමුදුරුවෝ එවන සල්ලි පිරිමහලා , ළමයින්ට පංතිත් කරලා හැම මාසෙම මට රුපියල් අටදාහකුත් එවනවා - චූටි අක්කගෙයි අම්මටයි වියදමට කියලා. අනේ එහෙව් උණහපුළු පැටියානේ මේ ගෙවල් මායිමට ඇවිදිල්ලා හකලා පණ නහ ගත්තේ.

කොල්ලාව පැහැර ගත්තා කියලා පත්තරේ දකිනකම් මම දන්නේ නෑ මහත්තයෝ. අනේ මොන දේශපාලනයක් ද ? ඉලන්දාරියා වුණාට කණට ඇහෙන්න කතාවත් කරන්නේ නෑ. අනේ නෑ ......... මහරගම අපේ නෑදෑයෝ නෑ මහත්තයෝ. එහෙම පිහිට වෙන නෑදෑයො හිටියා නම් තියෙන දෙයක් කාලා කුසගින්නේ හරි එකට ඉන්නවා මිසක් මයෙ කොල්ලව පංසලකට දන් දෙනවද ? මම පත්තරෙන් ආපු මහත්තුරුන්ට ඔය කතාව කිව්වා. එයාලා අපේ ගෙදරයි , මගෙයි , අනිත් කෙලීගෙයි පවා පොටෝ අරගෙන පත්තරේ මුල පිටුවේම දැම්මා. පහුවෙනිදා ග්‍රාමසේවක රාළහාමි තමයි ගෙදරට දුවං ඇවිල්ලා කීවේ කොල්ලා ගුරුපාරට හැරෙන තැන එල්ලිලා ඉන්නවා කියලා.

මට හිතා ගන්න බෑ මහත්තයෝ. මේ දරුවා ගෙවල් ළඟටම ඇවිල්ලා ඇයි මේ දේ කරගත්තේ කියලා. උඹ ඔච්චර දුරක් ඇවිල්ලා අම්මා ළඟට ආවේ නැත්තේ ඇයි රත්තරනේ ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

15 comments:

  1. මේක පට්ට බං.. බුකියේ දැක්ක ගමන් ඇස් බැඳගෙන කියෙව්වේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ :D

      Delete
  2. අන්තිමට කසුන් විතරයි කසුන් ගැන දැනගෙන හිටියේ. ලංකාවේ හොරෙන් රස්සාවක් කරන්නේ ඇත්තට එහෙම කරනවා කියල පෙනී හිටියොත් ලජ්ජාවක්ද? දැන් කාලේ වුනත්. මේ කතාව යථාර්තයට සෑහෙන්න සමීපයි කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දන්න ජීවිත ඇතුළට එබුණොත් හුඟක් උත්තර හම්බ වෙනවා අජිත්. ඇත්ත කීප දෙනෙක් ව ස්ටඩි කරලා තිබ්බ නිසා ලියවුණේ .. ඒකයි යථාර්තයට සෑහෙන්න සමීපයි කියල හිතෙනවා ඇත්තේ. බොහොම ස්තුතියි :D

      Delete
  3. අම්බෝ... මේක නම් නියමයි....

    අන්තිම මොහොත වෙනකල්ම කුතුහලේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :D

      Delete
  4. Is this the true story, or...... Im confused.

    ReplyDelete
    Replies
    1. It isn't a real story. It is a story developed in my mind over the years inspired by different people and incidents. Hence it isn't a real story.

      Delete
  5. Excellent. read twice. Though the reader never meets the protagonist (university student), his character is revealed magically. The beauty is the reader doesn't need to know why the student decided to suicide.

    ReplyDelete
  6. හපොයි..අන්තිම වෙනකල් කියෙව්වා..හුස්මක් කටක් නැතුව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :D

      Delete
  7. I read this for three times and making me to read it again. Bitter truth between reality and imaginary. Everyone has this side of their lives, it may go to grave with them.

    ReplyDelete
  8. Read this again after the tragic death of Dasun Nishan. Looks like you foretold his story before it happens.

    ReplyDelete
  9. සත්‍යය වනාහී වැරහැලි හැදගත් හිගන්නෙකු වන අතර බොරුව වනාහී ණ්යට ගත් ෆුල් සූට් ගහගත් හිගන්නෙකි.

    ReplyDelete