ලිවීම කියන්නේ පරම දුකක් : මංජුල වෙඩිවර්ධන


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රථම වරට පැවැත්වූ රජත පුස්තක සම්මාන ප්‍රදානයේදී කෙටිකතා සඳහා රජත පුස්තක සම්මානය දිනා ගනු ලැබුවේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " කෘතිය ය. 2016 වසරේ ප්‍රකාශයට පත් වූ කෙටිකතා සංග්‍රහ 47 ක් අතරින් සම්මානයට පාත්‍ර වූ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා " යනු "සම " ප්‍රකාශනයකි. කාලයක සිට ප්‍රංශයේ වාසය කරන මංජුල වෙඩිවර්ධන වෙනුවෙන් ඔහුගේ පියාණන් විසින් රජත පුස්තක සම්මානය භාරගනු ලැබිණ.දුරු රටක සිට සිංහල අකුර අතනොහරින,ලියන, එපමණක්ම නොව සම්මානයට ද පාත්‍ර වන මංජුල වෙඩිවර්ධන සමග ලක්බිම ඉරිදා සංග්‍රහය පැවැත්වූ පිළිසඳරයි මේ

#.'දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා' කියන්නේ සාම්ප්‍රදායික කෙටිකතා පොකුරෙන් මිදී හැල්මේ දුවන ධාවකයෙක් වගේ. ඒ වෙනසට හේතුව කුමක්ද ?
හැල්මේ දුවනවද, හැල්මේ දුවන සාහිත්‍යයක් ඇතුළෙ සාවධාන බැල්මකින් යුතුව හිමින් ඇවිදන් යනවද කියලා කියන්න වෙන්නෙ අර්ථකතනය වීම් ඇතුළෙ. ඔබේ අර්ථකතනයටයි සෙසු අර්තකතනයන්ටයි සියල්ලටම ඉඩ තියමු. 

මෙහෙමයි, සාහිත්‍යය කියන්නෙම වෙනසට තමයි. පවතින නිර්මාණාත්මක දේ නිර්මාණත්මක විභවයකින් සමතික්‍රමණය කරන්න වැය කරන මානසික ශ්‍රමය තමයි සාහිත්‍යය වෙන්නෙ. මම හිතන්නෙ කිසියම් කෘතියක් විසින් සනිටුහන් කෙරෙන්න ඕනි, පැවති දේ පුපුරුවා හැරීම වෙනුවෙන් ගහන කැරැල්ලක්. ඒකෙ කිසියම් ගරිල්ලාමය ලක්ෂණ තියෙන්න පුළුවන්. මම කෘතියකදි අල්ලන්න උත්සාහ කරන්නෙ සමස්ථ ව්‍යුහය. ඒකෙදි තේමාත්මක කාරණා, භාෂාමය කාරණා, ආකෘතිමය කාරණා සියල්ල එකවර ස්පර්ශ කරනවා වගේම ඊට විශාල ශ්‍රමයක් වැයකරනවා. භාෂාව මොන තරම් රමනීය විදිහට හසුරුවන්න පුලුවන්ද කියන එකට මගේ විශාල අවදානයක් තියෙනවා. නමුත් ඒ භාෂාත්මක වෑයම සමස්ථයෙන් වියුක්තව ගන්න ඉඩ නොදෙන්න මම දැනුවත් භාවිතයක නිරත වෙනවා. 

මම ගද්‍ය ලියන්නෙක් වෙන්නෙම, කියවන දේවල් වල තිබ්බ පපුව පැලෙන තරම් රමනීයත්වය හින්දා. ඒවා කියවද්දි හිතෙනවා ලියනවා නම් ඉතින් මෙහෙම තමයි කියලා. නැත්තං වැඩක් නැහැ කියලා. එහෙව් කියවීමේ විශ්වයක හොල්මං වෙවී ලියද්දි මගේ ලිවීමේ විශ්වය මංම හදාගත්තා. ඒක විශාල ශ්‍රමයක්. දුකක්. විවිධ ලියන්නන්ට විවිධ අර්තකතන ඇති ලිවීම ගැන, මට අනුව නම් ලිවීම කියන්නෙ පරම දුකක්. මගේ පොත් පලවීම අතර ගැප් පවතින්නෙ ඒ හින්දා. කතන්දර ලියන කෙනෙක්ට අවුරුද්දකට පොත් කිහිපයක් වුණත් පළ කරන්න පුළුවන්. තමන්ගෙ ලිවීම් එක්ක දුක් විදින ලියන්නන්ගෙ පොත් අතර ‘ගැප්’ තියෙනවා. ලිවීම කියන්නෙ මගේ දුක්ප්‍රාප්තිය‍. කියවන්නෙක් ඒ සඳහා වැයකරන බුද්ධිමය ශ්‍රමයට මං හරියට ගරු කරනවා. එවන් ‘සීරියස්’ කියවන්නො හින්දා මගේ ලිවීම ‘සීරියස්’ . මා අතින් ලියැවෙන හැම වැකියකටම, හැම ඡේදයකටම, හැම පරිච්ඡේචයකට මම විශාල ශ්‍රමයක් දරනවා වගේම ඒවට වගකියනවා. වෙනස කියන වචනෙ ඒ වගකීමට පර්යයාව දකින්න මම කැමතියි.


#. ආගමික සංස්ථාව හිතුවක්කාර ලෙස ස්පර්ශ කිරීම නිසා ඔබගේ "මේරි නම් වූ මරියා" කෙටි කතා සංග්‍රහය වාරණය වෙනවා.ඔබගේ මේ පොත කියවන කෙනෙකුට ඔබ තවමත් මට්ටු වී නැහැ කියලා හිතෙන්න පුළුවන් ?

මට්ටු වෙන මිනිහෙක් සාහිත්‍යයිකව ඉවර වෙනවා. සාහිත්‍ය පැන නැගෙන්නෙම සංස්ථාපතයන්ට එරෙහිවයි. ඇතැම් විට ඒවා සාහිත්‍යයික ව්‍යාපාර බවට පත් වෙනවා. කලා ඉතිහාසය හැදෑරීම වැදගත් වෙන්නෙ මෙන්න මෙවන් කාරණා හින්දා. ලිවීමට සමාන්තරව හැදෑරීම නොකළොත් ලිවීම කියන විෂය ඇතුළෙ ෆේල් චරිත බවට පත් වෙනවා. මහාචාර්ය ටෙරී ඊගල්ටන් බඳු සමකාලීන සාහිත්‍ය න්‍යායධරයන් ප්‍රබන්ධකරණය ගැන මතුකරන න්‍යායික ප්‍රවාද ලියන්නන්ව කළම්බනසුළුයි. එවන් පසුබිමක ‘මට්ටු’ වීම කියන්නෙ තුට්ටුවකටවත් මායිම් නොකළ යුතු අදහසක්.

#. වෙඩිවර්ධන නම් වූ කවියා ඉක්මවා වෙඩිවර්ධන නම් වූ කෙටිකතා කරුවා ඉස්මතු වෙන බවක් පෙනෙනවා යැයි කිව්වොත් ඔබ එකඟ වෙනවාද ?
කවර කාලෙක මොන තත්වයක වුණත් මගේ මුඛ්‍ය ප්‍රකාශනය මාධ්‍ය කවිය. නනවකතාව හෝ කෙටිකතාවට සාපේක්ෂව කවියෙදි රචකයා, කථයාට අනන්‍ය වෙන ප්‍රතිශතය අතිශයින් ඉහළයි. මේකෙදි දෙන්නා පැටලෙන තරමට එහි ඝනත්වය වැඩියි. කවිය මුඛ්‍ය ප්‍රකාශනය වෙන්නෙ මේ ස්වභාවය නිසා වෙන්න පුළුවන්.
මං කෙටි කතා ලියන්න අරන් දැන් අවුරුදු 20කට වැඩියි. මගේ පළමු පියවරම විශාල පීඩාවක් ඇතුළට මාව තල්ලු කරනවා. ක්‍රිස්තියානි සංකල්පයක් තියෙනවා ‘අයහපතින් යහපත’ උදාවීම කියලා. පැරණි ගිවිසුමේ එන සිහින තෝරන්නා වුණු ‘ජෝෂප්’ගේ ජිවන ඉරණම මේ සංකල්පය තුළ අර්ථකතනය කෙරෙන්නක්. ඒ සංකල්පය අනුවම ගත්තොත් වසර 2000දී සිද්ධවුණු ඒ ‘ශුද්ධවූ කතෝලික වාරණය’ ම තමයි මාව නවකතාකාරයෙක් විදිහට බෞතීස්ම කරන්නෙ. ඒ නිෂ්චිත මොහොත වන විට නවකතාවක් ලිවීම කියන අදහසක් මා තුළ තිබුණෙ නැහැ. නමුත් අවසානයේ කෙටිකතා නොලී මා අතින් ‘බත්තලංගුණ්ඩුව’ ලියැවෙනවා. ඊළඟට ‘යක්ෂණී’. 

නමුත් මම ගද්‍යයෙදි විශාල ලාලසාවකින් පරිහරණය කරන්නෙ කෙටිකතාව. කෙටිකතා ලියන එක සාපේක්ෂකව හරි ම අමාරුයි. ඒකෙ තාක්ෂණවේදය අභිසාරීමය ලක්ෂණ තියෙන්නෙ. අපිට බැහැ ග්‍රිප් එක අතාරින්න. අනිත් පැත්තෙන් කවිය ගත්තොත් තනිකරම ග්‍රිප් එක. මගේ සාහිත්‍ය භාවිතය ස්ථානගත කිරීම ඔබ වැනි සමීප කියවන්නන් අතින් කෙරෙද්දෙන්. නමුත් කවිය තමයි මගේ ආත්මය. සංයුක්තව ගත්තම, ගද්‍යයේ පවා විසිරිලා තියෙන්නෙ මේ කාව්‍යාත්මය නෙමෙයිද?

#. ඔබ දැනට සිටින ස්වයං පිටුවහල නැත්නම් විප‍්‍රවාසී භාවය ඔබගේ නිර්මාණකරණයට සහ සහෘද බවට බාධාවක්ද? එසේත් නැත්නම් එය ලොකු නිදහසක්ද?
විප්‍රවාසීභාවයට සරල අර්ථකතනයක් දෙන්න බැහැ. ඒක රට අභ්‍යන්තරව ජීවත්ව ඉද්දිත් මට තිබුණා. මං හදපු ඇතැම් සාහිත්‍ය චරිත ඇතුළෙ වුණත් මං මේ කියන ලක්ෂණ තිබුණා. කොහොම නමුත් දේශපාලන සවිඥානකත්වයක් සහිත බාහිර විප්‍රවාසය, ‘ජීවිතය කියන තත්වය’ පළල් කරන, ප්‍රසාරණය කරන දෙයක් විදිහට සලකුණු කරන්න පුළුවන්.
පුද්ගලිකව ගත්තොත්, මම නිර්මාණකරණයෙදි භාෂාත්මක ගනුදෙනුව සිද්ධ කරන බරපතල කියවීමක් ඉල්ලා සිටින සහෘද අවකාශය පටු කරගත්තෙ නැහැ. දෛනිකව, අඛන්ඩව ඔවුන් එක්ක බෙදාගන්න දේවල් මා තුළ තිබ්බා. ඉතින් මේ නිෂ්චිත මොහොතෙ පවා මගේ සහෘද සමාගමය සජීවීයි. කෙනෙක්ගෙ නිර්මාණ විශ්වය කියන්නෙ නියඟයට අහුවෙලා වියලිලා ඉරිතලන වැවක් නෙවෙයි. දැන් ඒ අනුව මගේ පැහැදිලි කිරීම මේකයි. බරපතල සාහිත්‍යයක නිරත වෙන කෙනෙක්ට පුළුවන් විප්‍රවාසී බෙදුම් රේඛා මකාදමන්න. නිර්මාණාවේශය කියන්නෙ කොන්දේසී නොතකන දෙයක්. ලියන්නෙකුගෙ නිදහස කියන එක, ස්ථානගත වන තැන අනුව විග්‍රහ කරගන්න මට බැහැ. මහා තනියක් ඇතුළෙත්, මහා සෙනඟක් මැද්දෙත්, මහා සංතුෂ්ටියක් ඇතුළෙත්, මහා වේදනාවක් ඇතුළෙත් මට එක දිගට ලියන්න පුළුවන්. ලිවීමේ ආරම්මනය පවත්ව ගන්න පුළුවන්. ලිවීමෙදි, ‘නිදහස’ කියන්නෙ මොකද්ද කියන එක ගැන, මේ මොහොතෙ මට තේරුමක් එන්නෙ නැහැ. මට දැනෙනවා, මං ලියන්නෙ ම ‘නිදහස් වෙන්න නේද’ වගේ දේකුත්. ඒ හින්දා ඒක කොන්දේසි විරහිත අවකාශයක මාව රඳවනවා.

#.ඔබ විශ්වාස කරන පරිදි ආගමික කරුණක් හැරුණු කොට ලංකාවේ පොතක් වාරණය වන්නට තරම් ප්‍රබල වෙනත් සාධකයක් තිබේ ද ?
වාරණය කියන්නෙ තනිකරම දේශපාලන කාරණාවක්. මර්ධනයේ මූලික ස්වරූපයක් තමයි වාරණය. ආගමික ස්වරූපයක තියෙන්නෙ ඒකෙ මතුපිට මුහුණුවර විතරයි. ලංකාවෙ වගේ රටක සන්දර්භය ඇතුළෙ ආගම දේශපාලනයෙන් වියුක්ත නැහැ. ඒක මං මූලිකවම ‘මරියා’ අද්දැකීම ඇතුළෙ විතරක් නෙමෙයි ඔබ ‘ස්වයං විප්‍රවාසය’ කියා නම් කරන සමස්තය ඇතුළෙ ම මං අද්දැක්කා සහ තාමත් අත්දකිනවා. මගේ ‘මාතෘකාවක් නැති මාතෘභූමිය’ ට, ‘යක්ෂණී’ට නිල නොවන වාරණයන් පැනවුණා. අද වන වාරණය කියන එක සමස්ථ සමාජ දේහය ඇතුළෙම පවතින දෙයක්. මේ රටේ වාරණය නැත්තෙ මොකටද? කම්කරු හෝ ශිෂ්‍ය හෝ වෙනත් වෘත්තීය සටන් හෝ වේවා ඒවට එරෙහිව මේ සිද්ධ වෙන්නෙ මොකද්ද? වාරණය අද නීත්‍යානූකූල රාමුවක සංස්ථාපිතව පවතින දෙයක්. සාහිත්‍ය හෝ කලා වාරණය එක් පැතිකඩක් විතරයි. ‘උසාවිය නිහඬයි’ ආගමික වාරණයක්ද? ‘උසාවිය නිහඬයි’ උසාවිය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙන්නෙ මේ සන්ධදර්භය ඇතුළෙ.

#. දුස්ටකම් කළාට පස්සේ ඊ ළඟට මොකක්ද කරන්නේ ? ඒ ගැන කියන්න පුළුවන්ද ?
‘දුස්ටකමට’ පස්සෙ තමයි මං ‘බොංචිගෙදර ඉන්ද්‍රජාල’ තිර කතාව ලියන්න ගත්තෙ. නමුත් ‘රේටිං කොන්දේසි’ වලට යටත් වෙලා ඩබල් බනිස් විකුණන්න මං කැමති නෑ. ‘රේටිං’ කියන්නෙ ව්‍යාපාරික උවමනාවක්. ඒවට යටත් වෙලා ‘බත් මාලු’ කනවට වඩා හොඳයි අයිෆල් කුළුණ යට ‘කී ටැග්’ විකුණන එක. සරල රේඛවක් විදිහට රූපවාහිනිය දිහා බලන්න පුරුදු කරපු දරුවන්ට වඩා කියවන්න පුරුදු කරපු දරුවන්ට දේවල් තුළට එළඹෙන්න පුළුවන් ධාරිතාව ප්‍රතිශතයක් විදිහට ඉහළයි කියලා මං විශ්වාස කරනවා. ඒ හින්දා ‘බොංචි ගෙදර ඉන්ද්‍රජාල’ තිර පිටපතෙන් ලිහලා අරන්, ‘ගැටවර ප්‍රබන්ධයක්’ විදිහට ලියන්න මං හිතුවා.
‘බත්තලංගුණ්ඩුව’ තිරනාටකයක් බවට පත් කිරීමේ මූලික සල්ලාපය ඉවර කරලා තියෙන්නෙ. ඊට අමතරව තවත් සිනමා තිර පිටපත් දෙකකට අතගහලා ඉන්නෙ. මොකක් ඉක්මන් වෙයිද කියන්න තාම දන්නෑ. පළවීම පමා වුණත් ‘සන්තන ගීතිකා’ සහ තවත් කවි පොතක් දැනුත් මගේ අතේ තියෙනවා. ‘නවල්’ සහ ‘නොවෙල්ලා’ විදිහට හැඩගැහෙන ප්‍රබන්ධ කිහිපයක වැඩ කාලාන්තරය ඉඳන් සිද්ද වෙනවා. කෙටිකතා ගත්තොත්, ‘රත්මලාන’ කතා කෝටාවෙ ඉතුරු කොටසෙ ඉතුරු වී ඇති වැඩ ටික ඉවර කර ගන්න වෙලාව හොයා ගන්න ඕනි. එම්. සෆීර් වෙනුවෙන් වේදිකාමය වැඩක් ලිව්වා. වෙනස් වැඩක්. වෙනස් වේදීකා අද්දැකීමක් වෙයි. ඔහු මේ වන විට එහි මූලික අදියරේ වැඩ පටන් අරන් තියෙන්නෙ. මේ සියල්ල අතරින් මොකක් පරිසමාප්තියට පත්වෙලා සහෘදයන් අතරට එයිද කියන්න මං තාම දන්නෑ. 

මේ සියල්ල එක්ක ඉද්දි ජීවිතය මඟහැරෙන ප්‍රමාණය වැඩියි. ඒ මඟ හැරෙන ජීවිතය සාහිත්‍ය ඇතුළෙ ඉතුරු කරලා තියන එක, අවසානයේ, ජිවිතය විදිහට බාර ගන්න සිද්ධ වෙලයි තියෙන්නෙ. වෙන මොකද්ද කරන්නෙ?


ලිවීම කියන්නේ පරම දුකක් - මංජුල වෙඩිවර්ධන 
ලක්බිම| 2017 ජූනි 18 | මංජුසාව
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment