මැයි 10 : බර්නාඩ් බුරිසිකොට් සහ ගැහැණු වෙස්ගත් ෂුහ් පෙයි පුයූ ට දඬුවම් නියම වේ


1986 වසරේ අද වැනි දවසක , චීනයට ඔත්තු සැපයීමේ වරදට බර්නාඩ් බුරිසිකොට් සහ එතෙක් කල් ඔහු කාන්තාවක ලෙස වටහාගෙන සිටි චීන ජාතිකයා ෂුහ් පෙයි පුයූ හට ප්‍රංශ අධිකරණය මගින් සිර දඬුවම් නියම කරනු ලැබීය. 

බර්නාඩ් ගේ කතා පුවත විශ්වාසය ඉක්මවා යන රැවටිල්ලේත් , ආදරය සුණු විසුණු කර දමන වංචාවේත් කතා පුවත ලෙස සඳහන් කිරීමේ වරදක් නැත.

1964 වසරෙ දී විසි හැවිරිදි ප්‍රංශ ජාතික බර්නාඩ් බුරිසිකොට් (Bernard Boursicot) පීකිං නුවරට (වත්මන් බිජිං) පැමිණෙන්නේ ප්‍රංශ තානාපති කාර්යාලයේ ගණකාධිකාරවරයෙකු ලෙසිනි. ඔහුට ෂුහ් පෙයි පුයූ (Shi Pei Pu) නම් වූ විසි හය හැවිරිදි පීකිං නළඟන මුණ ගැසෙන්නේ ද තානාපති කාර්යාලයීය උත්සව අවස්ථාවක දීය. ස්වදේශිකයන්ට විදෙස් ජාතිකයන් ඇසුරු කිරීමට සීමා පණවා තිබූ යුගයක ෂුහ් පෙයි හට අසීමිත නිදහසක් හිමි වන්නේ ඇය නළඟනක් ලෙස ප්‍රභූ පිරිස හමුවේ නිරන්තරව රඟ දක්වන හෙයිනි. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පීකිං ඔපෙරාවන් හි ස්ත්‍රී චරිත රඟ දක්වන්නේ ද පිරිමි නළුවන් විසින් වන අතර ෂුහ් පෙයි පුයූ මේ ලාබාල විදේශිකයාට පවසන්නේ තමා උපතේ සිටම ස්ත්‍රියක බවයි. ගම්බද පවුලක තුන්වැනි දියණිය ලෙස ඉපදුණු බවද මව ,මිත්තණිය සහ වින්නඹු මව විසින් පිරිමි දරුවෙකු උපත ලද බව පවසා තමාව ඒ ආකාරයෙන් උස්මහත් කළ බව ඇය පැවසුවාය. පිරිමි දරුවෙකු නොලදහොත් පියා දෙවන බිරිඳක ගෙන ඒමට සූදානම් ව සිටි නිසා එය වැළැක්වීමට වැඩිහිටියන් මේ ප්‍රෝඩාව කළ බවත් , ඒ නිසා කුඩා කල සිටම පිරිමියෙකු ලෙස පෙනී සිටි බවත් ෂුහ් පෙයි පුයූ කියා සිටියාය. එම හේතුවෙන්ම පීකිං ඔපෙරාවක ස්ත්‍රී චරිතයක් හිමි වූ බව පැවසූ ඇය මේ ජීවනෝපාය අහිමි කර ගැනීමට ඇති අකැමැත්ත නිසා සැබෑ ස්ත්‍රීත්වය සඟවාගෙන , ස්ත්‍රී චරිත රඟ දක්වන පිරිමි නළුවෙකු ලෙසම පෙනී සිටින බව පැහැදිලි කළාය. ලාබාල බර්නාඩ් බුරිසිකොට් මේ කතා ඉත සිතින් පිළිගත් අතර ඒ වන විටත් ඔහු සහ ෂුහ් පෙයි පුයූ අතර ප්‍රේම සබඳතාවක් ද ගොඩ නැගී තිබිණ.
ආදරයේ රැවටිල්ල : ද්‍රෝහී වීම සමග මුලාව 
ආදර කතාව පසෙකින් ගලා යන විට බර්නාඩ් හට වරින් වර චීනයෙන් පිටව වෙනත් ආසියාතික රටවල සේවයේ යෙදෙන්නට සිදුවිය. 1965 වසරෙ දී ෂුහ් පෙයි පුයූ විසින් තමා ගැබ් ගෙන ඇති බව දැන්වූ අතර බර්නාඩ් නැවත පීකිං වෙත පැමිණෙන විට ඔවුන් දෙදෙනාගේ පුත් ෂුහ් ඩූ ඩූ ද ඉපදී සිටියේය. මේ වන විට තම ද්වි ලිංගික නැඹුරුව පිළිබඳව අතීරණයක සිටි බර්නාඩ් ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශවය සමගම කායිකව බැඳෙමින් අවුල් සහගත යුගයක් ගෙවමින් සිටියේ ය. නමුත් ඔහු ෂුහ් පෙයි මුණගැසීමට පීකිං වෙත පැමිණීම අත් හරින්නේ නැත. සංස්කෘතික විප්ලවය හරහා චීනයම උණුසුම් වී තිබූ යුගයක විදේශිකයෙකුට දාව දරුවෙකු බිහි කළ ෂුහ් පෙයි පුයූ පසු වූයේ අවදානම් සහගත තත්ත්වයක ය. බර්නාඩ් ට ද ඇය සහ දරුවා හමුවීම දුෂ්කර විය. මේ අතර ඔහුට මුණ ගැසෙන චීන බුද්ධි අංශ නිළධාරියෙක් ෂුහ් පෙයි පුයූ ගේ ආරක්ෂාව පිණිස සහ කරදරයකින් තොරව ඔවුන් මුණගැසීමට කිසියම් යෝජනාවක් ගෙන එයි. ප්‍රංශ රාජ්‍යතන්ත්‍රික බර්නාඩ් බුරිසිකොට් විසින් ෂුහ් පෙයි පුයූ හරහා රහස් ලියකියවිලි චීන බුද්ධි අංශය වෙත පත් කරන්නේ එලෙසින් ය.
1979 වසරේ දී බර්නාඩ් ප්‍රංශය වෙත ළඟා වේ. ෂුහ් පෙයි පුයූ සමග සබඳතාව තරමක් දුරස් ව තිබූ නමුත් ඔහු 1982 දී ඇය සහ දහසය හැවිරිදි පුත් ෂුහ් ඩූ ඩූ ව පැරිස් නුවරට ගෙන්වාගනී. එහිදී එක්ව වාසය කරන බර්නාඩ් සහ ෂුහ් පෙයි වසරකට පසුව, එනම් 1983 දී අත් අඩංගුවට ගැනෙන්නේ 150 ට අධික ප්‍රංශ රහස් ලිපිගොනු ප්‍රමාණයක් ෂුහ් පෙයි පුයූ හරහා චීනයට සැපයීමේ චෝදනාව මතය. යුවළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව සිරගත කෙරේ. ෂුහ් පෙයි පුයූ ද බර්නාඩ් සිටි පිරිමි රැඳවුම් කුටියට යොමු කරන ලද්දේ බර්නාඩ් තුළ විමතියක් ඇති කරමිනි. පසුදිනයේ දෙදෙනාම විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රශ්න කිරීමට ලක්වන අතර සවස් වරුවේදී රැඳවුම් කුටියේ ගුවන්විදිලියේ ප්‍රවෘත්ති විකාශය වේ.
"අන්න ඔයාලා ගැන කියනවා" එක් රැඳවුම්කරුවෙකු ඔහුට දැනුම් දේ. එයට සවන් යොමන බර්නාඩ්ට අසන්නට ලැබෙන්නේ කිසිසේත්ම ඇදහිය නොහැකි පුවතකි.
" ඔත්තු බැලූ බවට චෝදනා ලද චීන මාතා හරී පිරිමියෙකු බව හෙළි වේ" (Mata Hari යනු අතීතයේ විසූ රූමත් කුප්‍රකට රහස් ඔත්තුකාරියකි.)
එවදන් විශ්වාස නොකරන බර්නාඩ් ගේ නොසන්සුන් බව පහ කරමින් දින කීපයකට පසුව ඔහුට ෂුහ් පෙයි මුණ ගැසෙන්නට වරම් ලැබේ. ෂුහ් පෙයි පුයූ පවසන්නේ තමා සැබැවින්ම පිරිමියෙකුම බවයි. බර්නාඩ් ඔහුගේ ඇඳුම අතරින් එය පරීක්ෂා කර බලා සැක හැර ගනී. ෂුහ් ඩු ඩූ යනු චීන සුළුතර ප්‍රජාවක් වන අතිශය දිළිඳු ඌගුර් පවුලකින් මිල දී ගත් දරුවෙක් බව ද හෙළි විය. මේ සියලුම දේවල් සිදුවන්නේ චීන රජයේ අවශ්‍යතාවක් මත බවත් අද වන තෙක් තමා රැවටී ඇති බවත් ඔහුට පසක් වේ. තමා ෂුහ් පෙයි පුයූ සමග කායිකව එකතු වූ සියලුම අවස්ථා අඳුරේ සිදු වූ බව ඔහුට සිහි වෙද්දී පිරිමි අවයව සඟවාගෙන ස්ත්‍රියක ලෙස හැසිරී ලාබාල බර්නාඩ් ව රැවටූ ආකාරය ෂුහ් පෙයි පුයූ හෙළි කළේය.
"ඇයි මෙච්චර කල් මට නොකීවේ" ෂුහ් පෙයි ගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බර්නාඩ් ඇසුවේ එපමණකි. "එතකොට පරක්කු වැඩියි" යනුවෙන් පිළිතුරු ලැබිණ.
උදා වූ යෞවනය : සංකීර්ණ මාගම් සෝලියකට හසුව 
මහත් වියවුලට පත් බර්නාඩ් බුරිසිකොට් සිර කුටියට ගොස් ආහාර අනුභවය සඳහා ලබා දුන් කුඩා පිහිය සහ රේසරයක් එකට තබා ගෙල කපාගෙන සිය දිවි නසා ගන්නට උත්සාහ ගත්තද එය සාර්ථක නොවීය. අවසානයේ ඔත්තු සැපයීමේ වරදට ඔවුන් දෙදෙනා වසර 6ක සිර දඬුවමක් ලැබූ අතර චීන රජයේ බලපෑම් මත ෂුහ් පෙයි පුයූ එයට පෙර සමාව ලබා නිදහස් වේ. නමුත් ඔහු , එනම් ෂුහ් පෙයි පුයූ ද දිගින් දිගටම පැරිස් නුවර රැඳෙමින් තමාට හුරුපුරුදු පීකිං ඔපෙරා රංගනයන් ඉදිරිපත් කරමින් ෂුහ් ඩු ඩූ සමග ජීවත් විය. නමුත් ඔහු අතීතය ගැන සිහිපත් කිරීමට හෝ කතාකිරීමට අකැමැති විය.
2009 වසරේ ජූනි 30 වැනිදා 70 හැවිරිදි පුරුෂයෙක් ලෙස ෂුහ් පෙයි පුයූ පැරිස් නුවරදී මිය යන තෙක්ම ඔහු සහ බර්නාඩ් බුරිසිකොට් අතර කිසිදු සබඳතාවක් නොවීය. ෂුහ් පෙයි අභාවයට පත් වූ පුවත ඇසූ බර්නාඩ් කණගාටුවට පත් වීය. නමුත් මෙසේ පැවසීය. " ඔහු මට විරුද්ධව හුඟක් දේවල් කළා - කිසිම අනුකම්පාවක් නැතිව. දැන් ඒ කතන්දර ඉවරයි. මම දැන් නිදහස් "
පසුකාලීනව M. Butterfly ලෙස සිනමාවට පවා නැගුණු මේ විස්මයජනක ආදර කතාව එලෙසින් නිම විය.
ඒ ඇදහිය නොහැකි රැවටීම සහ ප්‍රේමය යනුවෙන් වෙනත් දෙයක් රඟ දැක්වූ යුගය ගැන බර්නාඩ් බුරිසිකොට් පැවසුවේ මෙපමණකි. 

"මම ඒක විශ්වාස කරන කාලේ - ඒක හරිම ලස්සන කතාවක් "



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. තනි තටුවෙන් පියාඹන්න..

    ReplyDelete
    Replies
    1. ඒක කුරුණෑගල පොල් වත්තක වුණු සිද්ධියක් නේ . මතකයි නේද

      Delete
  2. රැවටීමේ පිකාසෝ

    ReplyDelete
    Replies
    1. මට නම් දෙන්නාගේම සිතිවිලි ගැන හිතා ගන්න අමාරුයි. Farewell My Concubine ෆිල්ම් එක බලලා තියෙනවද ? ඒකේ තියනවා පීකිං ඔපෙරා වල රඟපාන ළමයින්ගේ ජීවිතේ දුක්මුසු කතාව. ඒ නිසා මට ෂුහ් පෙයි ගැන දුකකුත් තියෙනවා

      Delete