සිහින කහවණු


රන් විමන් සිහිනයට දොරගුළු විවර කරන විදේශ රැකියා වරම්
-පුවත්පත් දැන්වීමක් -


ගොම්මන් අඳුර වැතිරෙයි ගෙයි එළිපත්තේ
කවුරුද එබෙන්නේ අද්දර කජු වත්තේ
අම්මේ අලුත් තොරතුරු කිම ඒ පැත්තේ
කඩයට යැවූ නංගී ඇයි තව නැත්තේ

පොඩි මල්ලිට උණ වැඩි වී ඇති හන්දා
පස් පංගුව තම්බමි පත අට සින්දා
හුඟ දොහකින් පාසල් ගිය නැති හින්දා
චක්කර ගණන් වැරදී යාවිද මන්දා

අප්පච්චිත් පෙර මෙන් නැත රා බොන්නේ
මල්ලී කැට ගසාලයි පණහක් දින්නේ
නංගිත් වැඩට හරි හපනී නොවැ අම්මේ
ඇඳ යට සොඩා බෝතල් තනියම ගැන්නේ

පඳුරු පතොක් කටු අග මල් පිපේවිද
කඳුළු සයුරු මත මතු ලොව තැනේවිද
පන්තියෙ පළමු තැන මෙවරත් ලැබේවිද
මී පුප් ලැබෙත හෙට අප සැම රැකේවිද
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. //"නංගිත් වැඩට හරි හපනී නොවැ අම්මේ
    ඇඳ යට සොඩා බෝතල් තනියම ගැන්නේ"//

    හ්ම්ම්

    ReplyDelete