කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් සහ ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල


ඛේදවාචකීය සංකේතය විය යුත්තේ කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් ද ? පොටෙම්කින් නගරයකට යටව මියැදුණු ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල ද ?
1985 නොවැම්බර් 13 වැනිදා කොලොම්බියාවේ Ruiz ගිනි කන්ද විදාරණය විය. ටොන් මිලියන 35 ක ලාවා මුසුවූ යමහල් ශේෂයන් , හිම සමග මුසුව දෑල ගං ඉවුරු කඩා බිඳ දමමින් පැයට සැතපුම් හැටක වේගයෙන් නිම්න බිම වෙත කඩා වදින්නට විය. කුඩා නගරයක් වූ Armero වසාගන්නා ලාවා කන්ද 28,000 ක් පමණ වූ ජනගහණයෙන් 20,000 කගේ පමණ ජීවිත උදුරා ගනී. දහතුන් හැවිරිදි ඔමෙයිරා සන්චෙස් ජලයෙන් යට වූ තම නිවසේ කඩාවැටුණු කොන්ක්‍රීට් සහ සුන්බුන් පිරි ස්ථානයක සිර වන්නීය. පුරා පැය පනස් පහක් තිස්සේ මරුවා සමග සටන් වදිමින්, නුමුදු මනා සිහියකින් යුතුව සිටි ඔමෙයිරා ගේ ජීවිතාපේක්ෂාව සැබෑ කරලීමට කිසිවෙකුට හෝ නොහැකි විය, ඉණෙන් පහළ කොටස සෙලවීමට නොහැකිවන ලෙස ලාවා ඝන වූ කොන්ක්‍රීට් අතර සිර වී සිටි ඔමෙයිරා අවසාන මොහොත වනතුරුම සහන සේවකයින් සමග දොඩමළු වූවාය. ඔවුන් විසින් කෙසේ හෝ තම ජීවිතය බේරා ගනිතැයි ඇය විශ්වාස කළාය. බලාපොරොත්තු සහගත දෑස් වලින් ජීවිතය අයදමින් ඡායරූප ශිල්පියා වෙත බලා සිටි ඔමෙයිරා ගේ සංවේගජනක මතකය එදා සිට හැඳින්වෙන්නේ ඛේදවාචකයේ සංකේතය ලෙසය. අනතුරු අඟවා තිබියදීත් නිසි ක්‍රියා මාර්ගයකට පිවිසෙන්නට අපොහොසත් වූ කොලොම්බියානු රජය ඒ ඛේදවාචකයේත් , සංකේතයේත් වග උත්තරකරුවා වන්නේය.
ඔමෙයිරා සන්චෙස් : ලාවා වලින් නොමිදුණු  ජීවන ආශාව 
වසර තිස් දෙකකට පෙර කොලොම්බියාවේ ස්වභාවිකව හටගත් ගිනි කන්දක් හේතුවෙන් මේ සා ව්‍යසනයක් වද්දී 2017 වසරේ දී ලංකාව බිලි ගන්නේ කුණු කන්දකි. එහි කුණු කන්දකට වැළළුණු ඔමෙයිරා සන්චෙස් ලා තවමත් බැකෝ යන්ත්‍ර වලින් කැබලි ලෙස ගොඩ ගනිමින් සිටිති. කොලොම්බියාවේ ගිනි කන්දට හිමිකරුවෙක් නැත. ගෙන ආ අයෙක් හෝ එහි තැන්පත් කළ අයෙක් නැත. නමුත් ලංකාවේ කුණු කන්දට අයිතිකාරයින් සිටිති. එය මීතොටමුල්ලේ තැන්පත් කළ අය මෙන්ම එයට වග කිවයුත්තන් ද සිටිති. වඩාත් පිළිකුළට කරුණ වන්නේ මේ දුගඳ හමන කුණු කන්දෙන් බඩවියත රැක ගන්නා මහජන නියෝජිතයින් ද සිටීමය. මේ කුණු කන්ද උගසට තබා මහජන ඡන්දය හොරාගත් දේශපාලකයින් රැසක් සිටීමය. ගම්වැසියන් මේ දුගඳ කුණු කන්දට එරෙහිව තම මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරද්දී ඔවුනට ලැබුණේ බැටන් , කඳුළු ගෑස් ප්‍රහාරය. අධිකරණ නියෝග පවා කඩ කරමින් ගම් වැසියන්ට රජයේ හමුදා සහ පොලිසිය ලවා පහරදීමේ කුණු , මහින්ද රාජපක්ෂ රජයේ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන රජයේ දෑත් වල එක හා සමානව තැවරී ඇත.
මෙල්බර්න් වරම් අහිමි තුරඟුන් ස්ටොක්හෝම් හි දී 
1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග පවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ නොව ස්වීඩනයේ ය. එයට හේතුව වන්නේ ඔස්ට්‍රේලියාවේ නිරෝධායන රෙගුලාසි (Australian Quarantine and Inspection Service) වලට අනුව විදේශ වලින් අශ්වයින් රට තුළට ඇතුළත් කර ගැනීම සෞඛ්‍යමය අවදානමකින් යුතු බැවිනි. එරට කෘෂි කර්මාන්තය සහ පාරිසරික සෞඛ්‍යය බෝ විය හැකි රෝග ප්‍රවාහයන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා ඔවුන් ඔලිම්පික් උළෙලක් සඳහා හෝ තම රෙගුලාසි ලිහිල් නොකළහ. නමුත් 2017 වන විටත් ශ්‍රී ලංකාවේ මිනිසුන් ජීවත් වන්නේ හිස මතට කඩා වැටෙන කුණු කඳු වලට පිට දීගෙනය. මේ කුණු කඳු මිනිස් වාසයන් අතරට ගෙන එන්නේ "කොළඹ නගරය " සුපිරිසිදු යැයි ප්‍රශස්ති ගායනා කරවා ගැනීමට විනා අන් කිසිවකට නොවේ. ඉතිහාසයේ සිටම වූයේ එබඳු දේවල් ය. 1976 නොබැඳි ජාතින්ගේ සමුළුව කොළඹ දී පවත්වන්නේ කොළඹ පැල්පත් කඩා බිඳ දමා තාවකාලික සුරපුරයක් බවට පත් කරමිනි. යාචකයින් සියල්ලන්ම අල්ලා බලහත්කාරයෙන් රිදීගමට පටවද්දී ඒ අතරට රජයේ සේවකයින් කිහිප දෙනෙක් ද වැරදීමකින් පටවා තිබූ බව කියවේ. "කර්නල් ගඩාෆි - පැල්පත් කඩාපි' යනුවෙන් කොළඹ තාප්ප වල කළු අකුරෙන් ලියැවෙන්නේ මේ පසුබිමකය. 2008 සාර්ක් සමුළුව පැවති කාලය තුළ විදෙස් නියෝජිතයින් ගමන් ගන්නා මාර්ග දෙපස නිවෙස් වල වහල බලහත්කාරයෙන් ප්‍රතිසංස්කරණය කර තාප්ප වල තීන්ත ගෑවූයේ රජයේ උවමනාවටය. මේ සියල්ලම ඇස්බැන්දුම් විනා යථාර්ථයන් නොවන බව තේරුම් ගන්නා විට ජීවිත ගණනක් බිලි ගෙන අවසන් ය.
ලාංකීය ලාලාසාව - පොටෙම්කින් නගර 
ක්‍රිමියාව 1783 වසරේදී රුසියාවට අයිති වීමත් සමගම ඒ කලාපයේ ආණ්ඩුකාර ධූරය හිමිවෙන්නේ කැතරින් රැජණගේ පෙම්වතා වූ ග්‍රෙගරි පොටෙම්කින් හටය. 1787 වසරේ දි කැතරින් රැජණ සහ මිත්‍රපාක්ෂික රටවල් කීපයක නියෝජිතයන් පිරිසක් නයිවර් ගංගාව හරහා ක්‍රිමියාවට සංචාරයක යෙදෙන්න තීරණය කළ අතර ග්‍රෙගරි පොටෙම්කින්ගේ උපදෙස් මත එක රැයින් ගඟ දෙපස කෘතිම ගොඩනැගිලි ආකෘති ඉදි විය. ඒවා බැලූ බැල්මට සුන්දර විය. නියෝජිතයින් ප්‍රමුඛ රැජණ සම්ප්‍රාප්ත වනවිට පොටෙම්කින් ගේ සහචරයින් ගොවි ,කම්කරු වෙස් ගෙන මේ කෘතිම නගරයේ සතුටින් සැරිසරමින් තම වැඩ රාජකාරී වල යෙදී සිටියහ. ඉදින් ක්‍රිමියාව යනු සෞභාග්‍යයෙන් පිරි පුරයක්යැයි කැතරින් රැජණ තීරණය කළා ය.
මිත්‍රවරුනි , ලංකාව යනු පොටෙම්කින් නගරයක් විනා කේතුමතියක් නොවන්නේ කේතුමතී රාජධානියේ කුණු කඳු කඩා වැටී ඒවාට යටවී මිනිසුන් මියැදෙන බව කිසිදු පොතක සඳහන් නොවන බැවිනි.
තවදුරටත් ග්‍රෙගරි පොටෙම්කින්ලාට රැවටෙනවාද යන්න තීරණය කළ යුත්තේ අපම ය. මිහිමත ඛේදවාචකයේ සංකේතය විය යුත්තේ ස්වභාවික ගිනි කන්දක් විදාරණය වී මිය යන කොලොම්බියාවේ ඔමෙයිරා සන්චෙස් ද රජය විසින් කුණු කන්දකට යට කොට මරා දැමූ ලංකාවේ මීතොටමුල්ල වැසියන් ද ? ඒ තීරණය ගත යුත්තේ ද අප මය.

Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. Replies
    1. සොයා යන සත්‍යය එතැනය

      Delete
  2. ////වඩාත් පිළිකුළට කරුණ වන්නේ මේ දුගඳ හමන කුණු කන්දෙන් බඩවියත රැක ගන්නා මහජන නියෝජිතයින් ද සිටීමය. මේ කුණු කන්ද උගසට තබා මහජන ඡන්දය හොරාගත් දේශපාලකයින් රැසක් සිටීමය. ////
    ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. නමුත් මාස තුනක් ගතවන්නට මත්තෙන් මේ සියල්ල අපට අමතකය

      Delete
  3. අද වෙනතුරුත් මේ ප්‍රශ්නයට දිගුකාලීන පිළියමක් සොයන විදිහ කතා නොවන එක නම් කණගාටුයි..

    ReplyDelete
    Replies
    1. අරණායක දැන් අමතකයිනේ. අන්න ඒ වගේ

      Delete