අප්‍රේල් 21 : බොස්ටන් මැරතන් තරගාවලියේ ජය රෝසී රුයිස් වංචා කරයි


1980 වසරේ අද වැනි දවසක රෝසී රුයිස් විසින් බොස්ටන් මැරතන් තරගාවලිය වංචාකාරී ලෙස ජයග්‍රහණය කළාය.
නූතන ඔලිම්පික් ඇරඹූ වසරට පසු වසරේ , එනම් 1897 වසරේ සිට පැවතෙන බොස්ටන් මැරතන් තරගාවලිය යනු ලොව පැරණිතම මැරතන් තරගාවලියයි. 27 හැවිරිදි ඇමරිකා - කියුබානු තරුණියක වූ රෝසි රුයිස් මේ සඳහා සුදුසුකම් ලබන්නේ සය මසකට පෙර පැවති නිව්යෝර්ක් මැරතන් තරගාවලිය 11 වෙනියා ලෙස නිම කිරීම හරහාය. ඒ අනුව 1980 වසරේ අප්‍රේල් මස 21 වැනිදා බොස්ටන් මැරතන් තරගාවලියේ ජයග්‍රහණය ලබන ඇය පැය 2:31:56 තරග නිමි කාලයක් වාර්තා කරන්නීය. එය බොස්ටන් තරග ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් වාර්තා කල හොඳම කාලය වන අතර ලෝක මට්ටමින් සලකන විට මැරතන් ක්‍රීඩිකාවක වාර්තා කළ තෙවැනි හොඳම තරග නිමි කාලය ලෙස ද සටහන් විය. දිණුම් කණුව පසු කළ සැණින් ජයග්‍රාහිකාව වූ රෝසී රුයිස් ගේ හිසට ජය පළඳනාව (Laurel Wreath) පැළඳවීමට සංවිධායකයින් වග බලා ගත්හ.
මතභේදාත්මක තත්ත්වයක් පැන නැගිණ. දෙවැනි තැන දිනූ කැනඩා ක්‍රීඩිකාව Jacqueline Gareau පවසා සිටියේ තමා අවසන් කිලෝමීටර කිහිපයක සිටම පළමු වැනි තැන රැඳී සිටි බවයි. අනෙක් ක්‍රීඩිකාවන්ද එම අදහස සනාථ කළ අතර ජැකලීන් දිණුම් කණුව වෙත එන විට සංවිධායකයින් වෙනත් ජයග්‍රාහිකාවක සමග සිටිනු දැකීමේ ඇය මවිතයට පත් ව තිබිණ. මේ අතර කාල ගණක නිළධාරීන් සහ , නිරීක්ෂකයින් ද මේ ජයග්‍රාහිකාව දුටු බවට මතකයක් නැතැයි පවසා සිටි අතර පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා රෝසි සමග කතා බස් කිරීමෙන් අනතුරුව තම විරෝධතාව පළ කළේය. බිල් රොජර්ස් පවසා සිටියේ ධාවන මාර්ගය පිළිබඳ ඇයට කිසිදු මතකයක් නැති බවයි. අන්තර් විරාම ස්ථාන , බෙදුම් මංසන්ධි කිසිවක් රෝසි ගේ සිහියේ නොතිබූ අතර ඇය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක විමසූ විට " What’s an interval - අන්තර් විරාම කියන්නේ මොනවාද ?" යැයි අසා ඇත. වඩාත්ම විසුළුසහගත කරුණ වන්නේ ඇයට වෙල්ස්ලි විද්‍යාලයේ (Wellesley College) ශිෂ්‍ය සමාචාරය ද අමතක වීමයි. එම විදුහලේ සිසුන් පාසල ඉදිරිපසට රැස්ව තමා පසුකර යන පළමු ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නැංවීම බොස්ටන් මැරතන් තරගාවලිය හා බැඳි පැරණිතම සම්ප්‍රදායකි. නමුත් පළමු තැන දිනූ රෝසිට වෙල්ස්ලි විද්‍යාලයේ ප්‍රීති ඝෝෂාව ද මතක නැත. මේ සමගම හඬ අවදි කළ තරග සංවිධාකයින් සහ ක්‍රීඩා නිළධාරීන් පවසා සිටියේ තරගය නිම කළ මොහොතේ ඇය කෙරෙන් වෙහෙසකර බවක් දක්නට නොලැබුණු බවයි. ගිනියම් අවුවේ පුරා පැය දෙකක් මහ මග ධාවනය කළ රෝසී රුවයිස් දහඩියෙන් නොතෙමීම සහ හිසකෙස් අවුල් නොවී තිබීමද ඔවුන් සිහිපත් කළහ. ක්‍රීඩා විශේෂඥයින් පැවසුවේ රෝසිගේ කලවා වල ප්‍රමාණය අනුව ඇය කිසිසේත්ම මේ මට්ටමේ දිගු දුර ක්‍රීඩිකාවක වීමට නොහැකි බවයි. " ඇය නිව්යෝර්ක් උළෙලට වඩා මේ පාර මිනිත්තු 25 ක් අඩුවෙන් දිව්වා. මාස හයකින් එච්චර දියුණු වෙන්න පුළුවන්ද ? " දෙවැනි තැන දිනූ කැනඩා ක්‍රීඩිකාව දෙබැම නළලේ රඳවාගෙන ඇසුවාය. " එහෙනම් ඉතාමත් හොඳම මට්ටමේ පුහුණුවක් තියෙන්න ඕනේ" ඇය එසේ පැවසුවද රෝසි රුවයිස් හට කිසිදිනෙක පුහුණුකරුවෙක් හිඳ නැත. ඇය පවසන පරිදි ඇයගේ පුහුණුවීම් වල යෙදී ඇත්තේ නගර ශාලාව වටා දිවීමෙනි.
නිව්යෝර්ක් සහතිකය | බොස්ටන් පදක්කම | ජයග්‍රාහී මොහොත | නින්දාව 
මේ සමගම ක්‍රීඩා ලෝකය ද මාධ්‍ය ලෝකය ද කැළඹිණ. රෝසිගේ ජයග්‍රහණය පිළිබඳ ආන්දෝලනයට තටු මැවෙද්දී සරසවි සිසුන් දෙදෙනෙක් ඉදිරිපත්ව පැවසුවේ ඔවුන් තරගය අතරමැද හරස් මගකදී මේ කාන්වතාව දුටු බවය. ඇය දිනුම් කණුවට කිලෝමීටරයක් මෑතින් පිහිටි හරස් මගකින් තමා අමග පැමිණ ප්‍රධාන මාවතට පිවිසි බව ඔවුන් කියා සිටියහ. මේ පුවත ලොව පුරා පැතිරෙන විට ඉදිරිපත් වූ නිදහස් ඡායාරූප ශිල්පිනියක් පවසා සිටියේ මාස හයකට පෙර නිව්යෝර්ක් මැරතන් උළෙල අතරතුර තමාට ඇයව උමං මාර්ගයක දී මුණ ගැසුණු බවයි. එමොහොතේ රෝසී ආබාධයට ලක් වූ ක්‍රීඩිකාවක ලෙස පෙනී් සිටි හෙයින් මාධ්‍යවේදිනිය ඇයව තරග නිමි කලාපය වෙත ඇරලවීමට ද කටයුතු කර තිබිණ.ඒ ප්‍රථමාධාර පිණිසය.නමුත් නිව්යෝර්ක් මැරතන් දත්ත වලින් පැවසුණේ ඇය 11 වැනියා ලෙස දිනුම් කණුව පසු කළ බවකි.
වහා ඉදිරිපත් වූ නිව්යෝර්ක් මැරතන් සංවිධායකයින් පරීක්ෂණයක් පවත්වා රෝසි තරගය සම්පූර්ණයෙන්ම ධාවනය කර නැතැයි තහවුරු කරගත් අතර ඇයව තරගාවලියෙන් ඉවත් කළ බවට දැනුම් දුන්හ. එම තීරණයත් සමග ඇයගේ බොස්ටන් මැරතන් උළෙලේ වලංගු භාවය ද ස්වයංක්‍රීයව අවලංගු වන නුමුදු , එම සංවිධායකයින් ද ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය. එහි ද තීරණය වූයේ රෝසි රුයිස් තරගයට සහභාගී නොවූ බවම ය. ඒ අනුව මැරතන් තරගයෙන් දින අටකට පසුව ඇයගේ පදක්කම නිෂ්ප්‍රභා කළ අතර රෝසි දිගින් දිගටම පැවසුවේ තමා තරගයට සහභාගී වූ බවයි. නමුත් සිය ගණනක් වූ කැමරා කරුවන් විසින් ලබාගත් දහස් සංඛ්‍යාත ඡායාරූප අතරින් එකක හෝ තමා දක්නට නොලැබීමට හේතුව පැහැදිලි කිරීමට ද ඇය අපොහොසත් විය.
Jacqueline Gareau :නැවතත් කැනඩාවෙන්ම ගෙන්වූ  සැබෑ දුවන්නිය 
දින කිහිපයකට පසු බොස්ටන් මැරතන් සංවිධායකයින් කැනඩාවේ සිට ජැකලීන් ගැරෝ (Jacqueline Gareau) කැඳවීමට කටයුතු කළ අතර ඇය 1980 බොස්ටන් මැරතන් ජයග්‍රාහිකාව ලෙස නම් කළහ. ඇයට අහිමි වූ දිනුම් කණුව පසු කිරීමේ මොහොත හෙවත් Break the tape අවස්ථාව නැවතත් ඡායාරූපයට නැගිණ.
නමුත් 2000 වසරේ මාධ්‍ය සාකච්ඡාවක දී ද රෝසි රුයිස් පවසා සිටියේ තමා කිසිදු වංචාවක් නොකළ බව සහ තමා තරගයේ ජයග්‍රාහිකාව බව ය. එසේ නුමුදු බොස්ටන් මැරතන් තරගාවලියට පසු රෝසිගේ ජීවිතයේ සිදුවීම් තුළින්ම සත්‍යය කුමක්දැයි වටහා ගැනීමට හැකිය. 1982 වසරේ දේපළ වෙළඳාම් සමාගමකින් මුදල් වංචා කිරීමේ චෝදනාව මත සතියක් බන්ධනාගාරගත වන රෝසි රුයිස් 1983 දී කොකේන් ජාවාරමකදී අත් අඩංගුවට පත් වූවාය. වසර තුනක පරිවාස කාලයක් නියම වූවාය. නමුත් රෝසි රුවයිස් අදටත් පවසන්නේ ඇය බොස්ටන් මැරතන් තරගය ජයග්‍රහණය කළ බවය. වංචාවක් නොකළ බවය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. සමහර විටි රෝසි කුමක් හෝ මානසික රෝග තත්ත්වයකින් පෙලුනද දන්නෑ!!
    පුුදුම හිතෙන කාරනය නම් මෙතරම් පිළිගැනීමක් තියන තරඟාවලියකදී මෙවන් දෙයක් සිදුවු බව..

    ReplyDelete