අප්‍රේල් 06 : වියට්නාම දරුවන් මුදාගන්නා "Operation Babylift" ඇරඹේ



1975 වසරේ අද වැනි දවසක වියට්නාම දරුවන් මව්බිමෙන් මුදාගන්නා "Operation Babylift" ආරම්භ විය. 

ඒ උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය අතර සටන උග්‍ර අතට හැරෙමින් පැවති කාලවකවානුවයි. උතුරු වියට්නාමයේ සහායට සෝවියට් සමූහාණ්ඩුව , චීනය සහ අනෙකුත් කොමියුනිස්ට් පාක්ෂික රටවල් ය. දකුණු වියට්නාමයට සහාය වන්නේ ඇමරිකාව , දකුණු කොරියාව , ඕස්ට්‍රේලියාව , තායිලන්තය සහ කොයුනිස්ට් විරෝධි රටවල් ය. යුධ ගිනි ඇවිලුණු වියට්නාමය පුරා අවතැන් වූ සහ සරණාගත වූ මහ ජනතාව ය. 

1975 අප්‍රේල් මස 03 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරන ඇමරිකානු ජනපති ජෙරාල්ඩ් ෆෝර්ඩ් පවසන්නේ වියට්නාමයේ සයිගොන් නුවර සරණාගතයින් මුදාගැනීමට වාසර මෙහෙයුමක් අරඹන බවයි. එය අදියර තිහකින් සමන්විතයැයි සැලසුම් කළ අතර අනුයුක්ත කර ඇති හමුදා ගුවන් යානා ප්‍රමාණය සීමිත බැවින් මේ සති ගණන ගත වේ යැයි ඇස්තමේන්තු කර තිබිණ. ඒ බව අසන ඇමරිකානු ව්‍යපාරික රොබර්ට් මැකෝලි මැදිහත්ව Pan Am ගුවන් සේවයේ බෝයිං 747 යානයක් කුලී පදනමට සපයා දුන් බව ද ඒ ගමන්වාර සඳහා මුදල් ගෙවීමට ඔහු තම නිවස උකස් තැබූ බවද සඳහන් වේ. 

ගුවනේ දකින වියට්නාම සිහින 
නමුත් මුදාගැනීමේ මෙහෙයුම්හි ආරම්භයම සනිටුහන්වන්නේ ඛේදජනක ඉරණමකිනි. පළමු අදියරේ පළමු ගුවන් යානය වූ A C-5A Galaxy ගුවන්ගතව මිනිත්තු දොළහක් වැනි සුළු වේලාවකින් යාන්ත්‍රික දෝෂයකට ලක් වේ. අනතුරුව එළඹෙන තීරණාත්මක මිනිත්තු කිහිපය තුළ ජීවන ආශාව දල්වා ගත් කුඩා වියට්නාම දරුවන් 78 ක් ඇතුළු ජීවිත 138 ක් මරු තුරුලට ගමන් කරති. ගුවන් යානාව කඩා වැටී Tan Son Nhut ගුවන්තොටට නුදුරු වෙල් යායක වැතිරී ගිනි දැල්වෙන්නට විය.


උපන්බිමෙන් දුරස්ව - නොතිත්ව 
එසේ නුමුදු Operation Babylift නතර නොවිණ. ඉන් පසුව ක්‍රියාත්මක වූ මෙහෙයුම් ඔස්සේ බේරාගත් දරුවන් සංඛ්‍යාව තුන් දහසකට අධිකය. ගුවන් මෙහෙයුම් කඩිනම් කර මුදාගැනීමේ මෙහෙයුම ඉක්මන් කිරීම සඳහා දානපතියන්ගේ ද නොමසුරු සහාය ලැබුණු අතර ඔවුන්ගේ පුද්ගලික ජෙට්යානා වල සහාය පවා ලැබෙන්නට විය Playboy Bunny ජෙට් යානාවක් ද ඒ අතර විය. ගුවන් යානා ආසන මත කුඩා දරුවන් තබා තිබූ අතර ඉතිරි පිරිස බිම එලූ පොරෝණා මත එක පෙළට තබා මනාව ආවරණය කර තිබිණ. දිනෙන් දින මුදාගන්නා දරුවන් සංඛ්‍යාව වැඩි වත්ම ගුවන්යානා තුළ සහන සේවකයින් හට රාජකාරි බහුල විය. අවස්ථානෝචිතව කටයුතු කරන්නැයි උපදෙස් ලද ඔවුන් ඉඩකඩ මද වූ විට සම්පූර්ණ ගමනාන්තය තෙක්ම දෙඅත් වලද දරුවන් දරාගනිමින් ඉඩ පහසුව සැලසීමට උත්සුක වූහ. 

Playboy නව මුහුණුවරකින් 

Operation Babylift හරහා 3,000 කට අධික දරුවන් පිරිසක් වියට්නාමයෙන් මුදා ගැනේ. ඉන් 2,000 කට ආසන්න පිරිසක් ඇමරිකාව තුළ හැදී වැඩෙද්දදී අනෙක් පිරිස ඕස්ට්‍රේලියාව , කැනඩාව සහ යුරෝපා රටවලින් භාර ගැණින. මේ දරුවන් වෙනුවෙන් දස දෙසින් දයාවේ දෑත් දිගු වූ අතර මෙහෙයුම් බලධාරීන් එම කටයුතු ද මැනවින් සංවිධාන කර තිබිණ. නමුත් ඔවුනට එල්ල වූ ප්‍රධානතම චෝදනාව වූයේ මේ දරුවන් සියලු දෙනාම සරණාගතයින් වුවද අනාථ දරුවන් නොවන බවයි. දෙමාපියන් ජීවතුන් අතර සිටින දරුවන් පවා මෙලෙස වෙනත් රටකට ගෙනැවිත් වෙනත් දෙමාපිය යුවළකට හදා වඩා ගැනීමට භාර කිරීම කෙතරම් සාධාරණදැයි ප්‍රශ්න කෙරිණ.

කඳුළක උණුසුම දැනෙනා බිමක 
ඒ සියලුම ප්‍රශ්න කිරීම් අතරේ අද අප දකින ලෝකය සහ යුධ ගැටුම් අතර මිය යන දහස් සංඛ්‍යාත ළමා ජීවිත දෙස බලන සඳ , ගිනිගත් පුරවරයකින් දිවි බේරා ගැනීම ම ආශ්චර්යයකැයි සිතේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. අගය කළ යුතු දේ අගය නො කිරීම මිනිස් ගතිය... බැලුව ලොව කොතනත්, කවුරුත් එකයි... ඒ දරුවන් දිවි රැක ගෙන ලොව කොතන හෝ ජීවත් වීමම මදිද...

    ඔබගේ මේ සටහන් අපූඍුයි.. හැමදම කියෙව්වත් අදයි කොමෙන්ට් කරන්න ආවෙ..

    ReplyDelete
    Replies
    1. ජීවිතය කියන දේ අගය තියෙන්නේ මරණයෙන් බේරුණු කෙනෙක්ටයි
      බොහොම ස්තුතියි ...

      Delete