අප්‍රේල් 01 : ගස් වල වැවෙන ස්පැගටි පිළිබඳ BBC පුවතට එක්සත් රාජධානිය රැවටෙයි


1957 වසරේ අද වැනි දවසක BBC පුවත් ජාලය මගින් ගස් වල වැවෙන ස්පැගටි පෙන්වා මෝඩයාගේ දිනය සමරන ලදි.

ඒ 1957 අප්‍රේල් මස පළමු වැනිදා BBC එක්සත් රාජධානි සේවා විකාශය ය. ස්විට්සර්ලන්තයේ ටිචීනෝ (Ticino) හි වාර්ෂික ස්පැගටි ඵලදාව නෙළන ආකාරය විස්තර වන වාර්තා වැඩසටහන මෙහෙයවන්නේ කීර්තිමත් පූරකයෙකු වන රිචඩ් ඩිම්බෙල්බි (Richard Dimbleby) විසිනි. පිටිසරබද කාන්තාවක් ඉතා ප්‍රවේශමින් සහ ඕනෑකමින් යුතුව ගසකින් ස්පැගටි නෙළන අයුරු මෙන්ම නෙළාගත් ස්පැගටි අවුවේ වේලෙන්නට තබන අයුරු එහි දර්ශනය විය. මාර්තු මාසය අගභාගය ස්පැගටි වගාවට අහිතකර යැයි පැවසූ රිචඩ් ඩිම්බෙල්බි එයට හේතුව ලෙස සඳහන් කළේ සමස්ත යුරෝපයම සීතලෙන් වසා ගන්නා සැඩ තුෂර පතනය ය. මේ කාලගුණික වෙනස්වීම් හේතුවෙන් සැපගටි වල රසය ද වෙනස් වීමට ඉඩ ඇත. සෑම ස්පැගටි නූලක්ම එකම දිගින් පවතින්නේ පාරම්පරික ටිචීනෝ ගොවීන්ගේ කැපවීම නිසා බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එවකට එක්සත් රාජධානිය තුළ එතරම් ප්‍රචලිත නොවූ ස්පැගටි සැලකුණේ කෘත්‍රිම රසයකින් යුතු ආහාරයක් ලෙසිනි. නමුත් මේ වාර්තා වැඩසටහන නැරඹූ පිරිස වහ වහා BBC සේවය අමතන්නට වූහ. එක් පිරිසකට අවැසි වූයේ මෙම සාවද්‍ය ප්‍රවෘත්තිය විකාශය කිරීම සම්බන්ධව .ඔවුනට බැණ වැදීමට සහ තරවටු කිරීමටය. ඔවුන් මෙම වැඩසටහනෙහි විනෝදාත්මක අරමුණ තේරුම්ගෙන නොතිබිණ. ඒ අතර තවත් පිරිසක් විකාශන මැදිරිය අමතන්නට වූයේ තමාගේ ගෙවත්තේ වවා ගැනීමට ස්පැගටි පැළ මිලදී ගැනීමට හැකි ස්ථානයක් විමසීමටය.

ගස් වල වැවෙන ස්පැගටි සිදුවීම සැලකෙන්නේ අප්‍රේල් පළමුවැනිදා මෝඩයාගේ රැවටිල්ල රූපවාහිනී මාධ්‍යය තුළින් සමාජගත වූ මුල්ම සිදුවීම ලෙසිනි. එදින අප්‍රේල් පළමුවැනිදා බව සිහි වුණ ද , එක්සත් රාජධානි වැසියන් රූපවාහිනිය හරහා මෙවැනි ඇන්දවීමක් අපේක්ෂා නොකරන්නට ඇත.
අද වන විට අන්දවන්නේ යැයි දැන දැනම තුන්සිය හැට පස් දවසම රූපවාහිනිය දෙස බලා සිටින අපට ස්පැගටි වල අල බසින්නේ යැයි කීවත් එපුවත විශ්වාසය. මෝඩයාට ඇත්තේ අපේ දිනයක් විනා අපට මෝඩයාගේ දිනයක් නැත.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment