දිව්‍යා භාරතී



"කවුරු ගැනද ඒයි ඔය කියන්නේ ? ? "

මම සැන්ඩ්‍රා දිහා හැරිලා බැලුවා. එයා හැට්ට කට්ටක් හපාගෙන සාරියේ රැළි හදනවා. " ඔයාලගේ පවුලේ කවුද එම්බසි එකේ වැඩ කළේ. අවුරුදු දහයකට විතර කලින් මැරුණු කෙනෙක් ?" මම ආයෙත් ඇහුවා. සැන්ඩ්‍රා හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන හනි හනික සාලෙට දුවගෙන ආවා "ඔය කියන්නේ සින්තියා අක්කා ගැන. සොයිසාපුර හිටියේ... " කියලා කියන ගමන් සැන්ඩ්‍රා මගේ යාළුවන්ට ආචාර සමාචාර කරන්න ගත්තා. ඒකෙත් හැටි කියන්නේ ඔෆිස් එකේ අය මාව බලන්න ආපු දවසෙම එයාට එයාගේ ඔෆිස් එකේ පාටියක්. ගෙන්නපු කැබ් එක ඇවිල්ලා පැය බාගෙකටත් වැඩියි. "මෙයාට බොන්න දෙන්න එහෙම එපා ඕං" සැන්ඩ්‍රා හිනා වෙවී දොර දිහාවට දිව්වා. ඔය අඩි උස සපත්තු දෙක ගන්නකොට ඒක දාගෙන ඇවිදින්නවත් බැරි වෙයි කියලා මම හිතුවේ. දැන් මෙයා ඒක දාගෙන රේස් දුවනවා. " සින්තියා කියන්නේ මොන අක්කද ?" මාත් අනිත් අතට කෑගහලා ඇහුවා.හාන්සි පුටුවේ දිග ඇදිලා කෑ ගහපු නිසාද මන්දා බඩත් එක්කම කොර වුණා. ඇක්සිඩන්ට් එක වෙලා මාසයක් ගියත් තාම එහෙන් මෙහෙන් රිදෙනවා. සැන්ඩ්‍රාට හැරි හැරී බලන්න වෙලාවක් තිබ්බේ නෑ . එයා කැබ් එකේ නගින ගමංම උත්තර දුන්නා. "අර දිව්‍යා භාරතී වගේ එක්කෙනා "


අන්තිමට ඉතුරු වුණේ ලෙඩ බලන්න ආපු ඔෆිස් එකේ අය විතරයි. " එයිසි දිවානගී ... හ්ම්ම් .. හ්ම්ම් " අනුරාධා එකපාරටම සිංදුවක් වගේ එකක් කියන්න ගත්තා. කාටවත්ම අදාලත්වය තේරුණේ නැති නිසා ඒක දිව්‍යා භාරතීගේ පළවෙනි ෆිල්ම් එකේ සිංදුවක් කියලා එයාටම කියන්න වුණා. දැන් අලුත් මෝස්තරේ එහෙමයි . කාව හරි දන්නවා කියලා නිකම්ම කියන්න හොඳ නෑ. එයාගේ ජීවිතේට අදාල මොකක් හරි මුලින්ම කියන්න ඕනේ. මට මතකයි අනුරාධා එකපාරක් "අනේ බලන්නකෝ .. ගෘෂා මැරිලනේ" කියලා මූණ බෙරි කරගෙන ලන්ච් රූම් ආවා. හැමෝම එයාට "ඩීපස්ට් සිම්පතීස් " කියන්න ගත්තාම තමයි වැඩේ දෙල් වුණේ. "නෑ නෑ.. අපේ සර්වන්ට්ගේ නම ඌෂා. මම කිව්වේ මේ මානෙල් ජයසේන ගැන. එයානේ හුණුවටයේ ගෘෂා ට හිටියේ " එහෙම නොකිව්වා නම් එදා තව ටිකෙන් අපි රුපියල් පණහ ගානේ එකතු කරලා මල් වඩමකුත් යවන්න තිබුණා. 

"ඔය දීවානා ෆිල්ම් එක තමයි , ෂාරුක් ඛාන්ගේ පළවෙනි ෆිල්ම් එක" අනුරාධා කිව්වා. ෂාරුක් ඛාන්ගේ නම ඇහෙනවා කියන්නේ ඉතියෝපියාවට පාන් දැම්මා වගේ වැඩක්නේ. ලලනාවෝ ටික එක සීරුවට කතා කරන්න වුණා. "වයස පනස් එකක්ලු .. දැන් නම් ටිකක් පේනවා නේද ? .. ස්වීට් අනේ ඒත් .... ඩාන්සිං ස්ටිල් සුපර්බ් ....ෆැමිලි ලයිෆ් එකත් සක්සස් ... කොණ්ඩේ නම් යනවා" වගේ නානාප්‍රකාර කතන්දර එක ගොඩේ ඇහුණා. මොන මඟුලක්ද මේ. මුං ආවේ මගේ ලෙඩ බලන්නද ෂාරුක් ඛාන් ගැන වර්ණනා කරන්නද ? "ෂාරුක් ඛාන් නේද අයිශ්චර්යා එක්ක යාලුවෙලා හිටියේ ?" බොන්නෙත් නැති නිසා කටවහගෙන ඉන්න බැරි කමට මිස්ටර් රණසිංහ ඇහුවා. "අයියෝ !! ....  අයිශ්-චර්යා නෙමේ මිස්ටර් රණසිංහ .... අයිශ්-වර්යා ..... " අමායා කෑ ගැහුවේ ඒ වචනෙක වැරැද්ද නිසා බොලිවුඩ් සිනමාවම කඩා වැටෙන්න යනවා වගේ. ඔන්න ඊ ළඟට අයිශ්වර්යා රායි ගේ රූ සපුව අගයන්න පිරිමි ටිකත් කතාවට එකතු වුණා. එතනදී අපිට නිගමන කීපයකටම එළඹෙන්න පුළුවන් වුණා. 

1. අයිශ්වර්යා ලෝක රූ රැජණ වුණාට එයා මිස් ඉන්දියා තරගයේ දී සුෂ්මිතා සෙන් ට දෙවැනි වී ඇත.
2. අයිශ්වර්යා යාලු වී සිටියේ ෂාරුක් ඛාන් සමග නොව සල්මාන් ඛාන් සමගය.
3. සල්මාන් ඛාන් සල්ලාලයෙකි. නමුත් අමීර් ඛාන් සහ ෂාරුක් ඛාන් එහෙම නැත. 
4. සෝමි අලි සහ සංගීතා බිජ්ලානි යන නිළියන් සල්මන් ඛාන් ගේ මුල්ම පෙම්වතියන් ය. 

"සංගීතා බිජ්ලානි ?" පීරිස් පුදුමෙන් වගේ කෑ ගැහුවා. "ඒකි නේද මොහොමඩ් අසාරුදීන්ව බැන්දේ?" සහරා කාන්තාරේ ඇවිදිනකොට මාතර බත් කඩයක් දැක්කාම කෙනෙක්ට ඇතිවෙන හැඟීම හිතා ගන්න පුළුවන්ද ? අන්න ඒකම තමයි ක්‍රිකට් කියන මාතෘකාව ගෑවුණ ගමන් පිරිමි පාර්ශවයට දැනෙන්නෙත්. පීරිස් , මිස්ටර් රණසිංහ , සත්‍යජිත් , රීසා ඔක්කොම හරි හරියට ක්‍රිකට් ගැන කතා කරන්න අරගෙන. අනුරාධා , අමායා ප්‍රමුඛ මහිලා සමිතිය කුටු කුටු ගගා ස්ප්‍රයිට් බෝතල් ටිකයි මුරුක්කුයි ඉවර කළා. මටත් ටිකක් විතර වැදිලා තිබුණේ. අසාරුදීන්ගෙන් පටන් ගත්ත ක්‍රිකට් මාතෘකාව තෙන්දුල්කාර් ගේ මහත්මා ගුණය , ගංගුලිගේ පිතිකරණ තාක්ෂණය වගේ ක්‍රීඩා මාතෘකා ඔස්සේ ඉන්දු - පාකිස්තාන එදිරිවාදිකම වගේ දේශපාලනික මාතෘකා දක්වාම ඇදුණා. මට අන්තිමට මතකයි සත්‍යජිත් අමු තිත්ත කුණුහරුපෙන් රීසාට බණිනවා. "තොපි අරාබියටම මකබෑවියව්" කියලා මිනිහා රීසාට කෑ ගැහුවේ ඇයි ? ලංකාවයි පාකිස්තානේයි මැච් එකක් ගහනකොට ලංකාවේ මුස්ලිම් අය පාකිස්තානෙට හුරේ දානවා කියලා කිව්වේ කවුද ? මට කිසිමදෙයක් හරියටම මතක නෑ. 

රීසාට අරාබියට යෑම කෙසේ වෙතත් හංදියේ ඩිස්පැන්සරියට නම් යන්න වුණා. සත්‍යජිත් පිඟානෙන් ගහපු පාරට නළල විතරයි තුවාල වෙලා තිබුණේ. පීරිස් අමාරුවෙන් හරි සත්‍යජිත්ව මේච්චල් කරගෙන ගෙදර ගිහිං තිබුණා. කාන්තාවෝ ටික යුද ගැටුම් මැද පලා ගිහින් තිබුණ නිසා යුධ පුවත් වාරණයක් පනවන්න ඉඩ ලැබුණේ නැහැ. දැන් ඉතින් හෙට වෙනකොට මුළු ඔෆිස් එකම අකුරක් නෑර දැන ගනියි මෙතන වුණු දේ. අනේ අර වයසක මනුස්සයා , මිස්ටර් රණසිංහ මුළු ගෙදරම අස් කරලා , තිබ්බටත් වඩා පිළිවෙල කරලා තිබුණා. ඒ නිසා සැන්ඩ්‍රාට මේ කිසිමදෙයක් ගැන ඉවක් ආවේ නැහැ. ඉවක් ආවත් අහන්නේ කාගෙන්ද ? ඔළුව රිදෙනවා කියලා මැසේජ් එකක් යවලා මමත් ඉක්මණටම නිදාගත්තනේ.

"අර කිව්ව සින්තියා අක්කාගේ ළමයි දැන් මොකද කරන්නේ ? " දවස් ගාණකට පස්සේ මම සැන්ඩ්‍රාගෙන් හෙමීට ඇහුවා. මේ සින්තියා කවුද කියලා දැන ගන්න මට ලොකු ආසාවක් ඇති වෙලා තිබුණේ. සැන්ඩ්‍රා එකපාර ඇස් උඩ තියලා මා දිහා බැලුවා. " මොකක් ? බඳින්නේ නැතිව මොන ළමයි ද අනේ?" එයා ආපහු මගෙන් ඇහුවා. ලිහා බලන මල්ල ඔබලා බලන්න ගියොත් අමාරුවේ වැටෙන බව මට තේරුණා. මම ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළා. " හෑ ? මම හිතුවේ බැඳලා දරු මල්ලෝ ඉන්න කෙනෙක්ය කියලනේ" සැන්ඩ්‍රා ඒක තඹ සතේකට ගණන් ගන්නේ නැතුව කකුලේ නියපොතු කපන ගමන්ම උත්තර දුන්නා. "බඳින එක කෙසේ වෙතත් ආසාවකටවත් කොල්ලෙක්වත් හිටියේ නෑ එයාට" ඒකත් එහෙමද ? කොහොමටත් සැන්ඩ්‍රලාගේ පවුලේ කෙල්ලෝ ලස්සන වගේම ටිකක් අහංකාරයි. ඒ ගැන ඉතින් මට අමුතුවෙන් උගන්නන්න ඕනේ නැහැනේ. " ඔයාල නොදන්නවා වුණාට ඉන්න ඇති අප්පා දුසිම් ගණන්.ඔච්චර ලස්සන කෙල්ලෙක්ට කොල්ලො හොයා ගන්න බැරි මොකෝ " මමත් ඉතිං මිත්‍රශීලී ලීලාවෙන් ඕපාදූපයට බැස්සා. ඒත් වැඩේ හරි ගියේ නෑ. සැන්ඩ්‍රා දුන්නක් වගේ කෙළින් වුණා. " ලස්සනයි ?" සැන්ඩ්‍රා ඇහුවේ පුදුම හතෙන් හතරක් පහක්ම අපේ කාමරේ ඇතුළේ තියනවා දැක්කා වගේ. "ඔයා සින්තියා අක්කව දැකලා තියෙනවද ?" සැන්ඩ්‍රා මගේ ඉස්සරහට පාත්වෙලා මා දිහා බලාගෙනම ඇහුවා."මම දැකලා නෑ. ඒත් ඔයාමනේ කිව්වෙ එයා දිව්‍යා භාරතී වගේ ලස්සනයි කියලා" කලබල වුණු පාරට මමත් එක හුස්මට කියලා දැම්මා. 

"ඔයාට විකාරද අනේ ? දිව්‍යා භාරතී වගේ කියලා මිසක් ඒ වගේ ලස්සනයි කියලා කවුද කිව්වේ ?" සැන්ඩ්‍රා මහ හයියෙන් හිනා වෙවී ඇඳෙන් පැන්නා. " සින්තියා අක්කා මෙලෝ ලස්සනක් නෑ. හරියට තාර පීප්පයක් වගේ " එයා කපපු නියපොතු ටික පරිස්සමෙන් කුණු බාල්දියට දැම්මා " මහ රෑ තිස්සේ බීලා බැල්කනියේ ඇවිදින්න ගිහිං වැටිලයි මළේ. තාමත් අපිට රෙද්දක් ඇඳගෙන යන්න බෑ සොයිසාපුර ෆ්ලැට්ස් වලට " සැන්ඩ්‍රා වගේ වගක් නැතිව කියවනකොට මම බයවෙලා බලාගෙන හිටියා. "ඒකයි මම දිව්‍යා භාරතී වගේ කිව්වේ" සැන්ඩ්‍රා ආයෙමත් හිනාවෙන්න ගත්තා. මම කියලා දැන් ඉතින් අඬන්නයැ ? මාත් ඒ සද්දෙටම හිනාවෙන්න ගත්තා.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment