අම්මාවරුනේ ට වසර 35 යි : මායාවක් වී එහි තනි වූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ


මව් ගුණ ගීතයක් කියූ පමණින්ම ලාංකීය අපගේ සිතට නිරායාසයෙන්ම නැගෙන එක් ගීතයක් ඇත.ඒ නන්දා මාලිනීයන්ගේ "අම්මාවරුනේ" නම් වූ සුමිහිරි ගීතයයි. මේ ගීය නොගැයුණු , නොඇසුණු පාසල් සමිති වාරයක් , උදා රැස්වීමක් ඇතැයි සිතිය නොහැකිය. "අම්මාවරුනේ" යනු චිත්‍රපට ගීතයක් යැයි අද පරම්පරාව නොදැන සිටීමටද හැකි නුමුදු එම ගීතය කෙරෙහි ඇති ඇල්ම සහ සර්වකාලීන ජනප්‍රියත්වය බිඳකින් හෝ අඩු වී නොමැත. අදට , එනම් 2017 වසරේ මාර්තු මස 05 වැනිදාට යෙදෙන්නේ ඒ සදානන්දකර ගීතයේ 35 වැනි වසරයි. 1982 මාර්තු මස 05 වැනි දින සිංහ චිත්‍රපට විසින් තිරගත කරන ලද "යස ඉසුරු" චිත්‍රපටයේ එන "අම්මාවරුනේ" සමග මේ පුබුදන්නේ නන්දා මාලිනියන්ගේ මතක ආවර්ජනයය. ඒ තිස්පස් වසකට එහා අතීතයකි. නමුත් අද ඊයේට වඩා වෙනසක් නැත්තා සේය.

"මට තවමත් හොඳට මතකයි මේ සිංදුව කියපු හැටි. ධර්මසිරි ගමගේ සූරින්ගේ ලස්සන පද වලට කේමදාස මාස්ටර් ඉතාමත් මිහිරි තනුවක් යොදලා තිබුණා. මේ සිංදුවේ සංගීතය තමයි චිත්‍රපටය පුරාවටම ඇහුණේ. ඒත් එක්කම මම මේ සිංදුවට ආසා වෙන්න හේතුවක් තමයි මේ සිංදුවෙන් කියවෙන දේ. අම්මා කෙනෙක් කියන්නේ කොච්චර උතුම් කෙනෙක්ද කියන එක මේ සිංදුවෙන් හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා. මමත් ඒ වෙනකොට අම්මා කෙනෙක්. වරුණි රසෝජා , අමා සරාදා මගේ දුවලා දෙන්නා. ඒ නිසා මට මව් පදවිය ගැන මේ සිංදුවෙන් කියවෙන හැඟීම ගැන ලොකු අවබෝධයක් තිබ්බා. අනිත් එක බලන්න ඒකේ වචන " සෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ ලොවම ආදරෙයි කියා සිතේ - මායාවක් වී එහි තනිවූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ" ඒක කොයිතරම් ඇත්තක්ද ? ඕනෙම කෙනෙක්ට කවදා හරි අන්තිමට අම්මාගේ සෙනහස මතක් වෙනවා"

"යස ඉසුරු" චිත්‍රපටයේ කිරි අම්මාවරු වඩින දර්ශනයක් එක්ක මේ සිංදුව පටන් ගන්නව. සිංදුව පටිගත කළේ මර්වින් බෙන්ස් ගේ නෙලූ ශබ්දාගාරයේ. මේ වචන ටික දැක්කාම මම හිතා ගත්තා මේක කොහොමහරි වන් ටේක් වලින් කියනවා කියලා. අපි සිංදු රෙකෝර්ඩ් කරන කොට කීප වතාවක්ම නවත්ත නවත්ත , හරි ගස්සලා ගන්නවානේ. ඒත් මේ සිංදුව මම හිතා ගත්තා කොහොම හරි එක පාරින්ම කියන්න ඕනේ කියලා. පුහුණුවීම් වලින් පස්සේ මම එක පාරින්ම සිංදුව කිව්වා. වැඩි හොඳට කියලා දෙතුන් වතාවක් රෙකෝර්ඩ් කර ගත්තා වගේ මතකයි. ඒත් චිත්‍රපටියේ යන්නේ ඒ වන් ටේක් එකෙන් කියපු සිංදුව.
සරෝජිනී - සුරම්‍යා ( මාලිනී - ගෝතමී )
මනුෂ්‍යත්වය වැළඳගැනීම
"අම්මාවරුනේ" සිංදුව එක්ක මට තවත් මතකයක් සිහියට එනවා. ඒ තමයි මේ චිත්‍රපටයේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වුණු ධර්මසිරි ගමගේ අයියාව. එයාමනේ මේ සිංදුව ලිව්වෙත්. ධර්මසිරි අයියා කියන්නේ හරිම උතුම් ගති ගුණ තිබ්බ , මම ඉතාමත්ම ගෞරව කරන පුද්ගලයෙක්.ඉස්සර ධර්මසිරි අයියා හැමදාම උදේට වැඩට යන්න කලින් අම්මව බලන්න මරදානේ ගෙදරට එනවා. ඒ එන්නේ එයාගේ බිරිඳ සීතා අක්කා ,හදලා දෙන කෑම එකකුත් අරං. මොන වැඩ තිබුණත් උදේට අම්මව බලල කෑම එක දෙන එක වරද්දන්නේ නැහැ. සීතා අක්කත් එහෙමමයි.ඒ කාලේ ක්ෂේත්‍රයේ හිටිය අයගෙන් සීතා අක්කා උයපු බත් කටක් නොකාපු කෙනෙක් නැති තරම්. ඉතිං මම මේ සිංදුව කියනකොට මගෙ හිත දන්නවා මේ සිංදුව ලියන්නේ ඒ වගේ ගති ගුණ තියෙන අම්මට අසීමිතව ආදරේ කරපු මනුස්සයෙක් කියලා. පස්සේ කාලෙක ධර්මසිරි අයියගේ පුතා මගේ ලොකු දුව වරුණි රසෝජා සමඟ විවාහ වුණු නිසා ඒ සම්බන්ධය ඥාති සබඳතාවක් බවට පත්වෙනවා.

"අම්මාවරුනේ" සිංදුව ප්‍රචාරය වෙන්න ගත්ත මුල් කාලේ ඉඳන්ම සෑහෙන රසික ප්‍රතිචාර ලැබුණා. හැමෝම ඒ ගැන කතා කළා. අදටත් ඒ ප්‍රතිචාර එහෙමමයි. මට මතකයි චිත්‍රපටයේ රඟපාපු මාලිනී ෆොන්සේකා මහත්මිය ඒ කාලේම කිව්වා “ ඔන්න බලන්න අක්කේ .. මේ සිංදුවට අක්කට සම්මාන ලැබෙන එක ලැබෙනවාමයි” කියලා. ඒ කිව්ව විදියටම ඒ කාලේ තිබ්බ සම්මාන උළෙල හැම එකකම වගේ මට මේ සිංදුවට සම්මාන ලැබුණා. ඒ කාලේ විතරක් නෙවෙයි. 2015 අවුරුද්දේ "පීපල්ස් අවෝර්ඩ්" එක ලැබුණෙත් අවුරුදු ගාණක් ගියත් අමතක නොවෙන , එක විදියටම ජනප්රිය මේ සිංදුව නිසා .

පසු සටහන : 
"අම්මාවරුනේ" යනු සර්වකාලීන හැඟීමක් පුබුදවන සත්සර මතකයකි. 1982 සරසවි සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස නන්දා මාලිනීත් හොඳම ගීත රචකයා ලෙස ධර්මසිරි ගමගේත් පිදුම් ලැබීය.1982 ජනාධිපති සම්මාන උළෙල දක්ෂතම පසුබිම් ගායිකාව ලෙස ද 1985 ඕ.සී.අයි.සී සම්මාන උළෙලේ විශේෂ ජූරි සම්මානය ද නන්දා මාලිනී ට හිමි වන්නේ මේ ගීතය උදෙසා ය. 
"සංසාරේ අපි" කෘතියට "ගීතය සංගීතය සහ ආකෘතිය" ලෙස පෙරවදන් සපයන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වරක් මෙසේ සඳහන් කරයි. "රචකයා මුලින්ම ලියලා තිබුණේ "සම්මා සම්බුදු අම්මාවරුනේ" යනුවෙනි. මගේ සංස්කරණයේදී මම අම්මාවරුනේ යන පදය ගීතයේ ආරම්භය ලෙස යොදා ගැනීම නිසා විවිධාකාරයෙන් ගායනා කිරීමටත්, රචකයාගේ මුල් සංකල්පය ප්‍රබලව ඉස්මතු වීමටත් , එය හේතු විය. එපමණක් නොව ගීතයට හොඳ ආරම්භයකුත් ලැබුණි"

සත්හඬ | සිහිනය | 2017 මාර්තු 05 


 අම්මාවරුනේ : චිත්‍රපට ගීතයේ ෆේස්බුක් සබැඳිය 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment