මාර්තු 18 : වසර පහළොවකට පසු ටෙරී ෂයිවෝ ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ


2005 වසරෙ අද වැනි දවසක මහත් ආන්දෝලනයට තුඩු දුන් "ටෙරී ෂයිවෝ"ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ.
"ටෙරී ෂයිවෝ" (Terri Schiavo) යනු වසර පහළොවක් තිස්සේ නළයක ආධාරයෙන් ආහාර සපයනු ලැබූ සුවකළ නොහැකි තත්ත්වයේ පසු වූ රෝගී කාන්තාවකි. මොළය දැඩි ලෙස හානියට පත්ව සිටි ටෙරී ගේ ජීවිතය බේරා ගැනීමට කිසිදු ඉඩ හසරක් නැතැයි වෛද්‍යවරුන් තහවුරු කර තිබූ අතර ඇගේ සැමියාගේ අදහස වූයේ ඇයට මරණයට පත් වන්නට ඉඩ දිය යුතු බවය. සැමියා වන මයිකල් ෂයිවෝ , එනම් ඇයගේ නීත්‍යානුකූල භාරකරු එලෙස යෝජනා කළ ද ටෙරී ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාව පළ කළහ. අවසානයේ දී ෆ්ලොරීඩාවේ ටෙරී ෂයිවෝ ගේ ජීවිතය සමස්ත ඇමරිකාවේම ගැටළුවක් බවට පත් වන්නට විය.
1998 දී දී මයිකල් ෂයිවෝ තම බිරිඳගේ ආහාර නළ සැපයුම නවත්වාලන්නට අවසර ඉල්ලා පෙත්සමක් ඉදිරි පත් කරයි. ටෙරී ගේ දෙමාපියන් එයට විරෝධතාවය පළ කරති. ටෙරී ෂයිවෝ තව දුරටත් සුව වන ලකුණු දක්නට නැති බව තහවුරු වුවද විනිසුරුවරයාගේ තීන්දුව වන්නේ ආහාර සැපයුම නැවැත්වීමට ඉක්මන් නොවිය යුතු බවයි. 1990 වසරේ දී ටෙරී බ්බ් සැමියා ඇයගේ  නීත්‍යානුකූල භාරකරු ලෙස පත්වූ බැවින් ඇගේ මරණයෙන් පසුව ඇයගේ උරුමය පැවරෙන්නේ සැමියා වන මයිකල්ට ම වීම එයට හේතුවයි.
මයිකල් ෂයිවෝ : දෙලොවක් අතර ගැටෙන ස්වාමීත්වය  
2000 වසරේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග වේ. ටෙරීගේ දෙමාපියන් ඉදිරිපත් කරන තර්කය වන්නේ "ටෙරී යනු රෝමානු කතෝලික බැතිමතියකි. ආහාර සහ පෝෂණය ප්‍රතික්ෂේප කර සුඛ මරණයකට (ස්ව කැමැත්තෙන් මරණය තෝරා ගැනීම ) ලක් වීම ඇගේ ආගමික විශ්වාසයන්ට එරෙහිව යාමකි" යන්නයි. නමුත් විනිසුරු තීන්දුව වන්නේ සැමියාගේ ඉල්ලීමට ඉඩ දී ආහාර නළ සැපයුම නවත්වාලන්නට අවසර ලබා දිය යුතු බවයි. ටෙරී අසාධ්‍ය නමුත් අදහස් හුවමාරු කරගන්නා අවධියේදී තම ආහාර සැපයුම ඉවත් කර මරණය ළඟා කරදීම සුදුසුයැයි පැවසූ බවට විශ්වසනීය වාචික සාක්ෂියක් ද ඉදිරිපත් විය.

ටෙරී ෂයිවෝ : මරණය වැළැඳගන්නා සොඳුරු ස්ත්‍රිත්වය 
2000 වසරේ දීම යළිත් මෝසමක් ඉදිරිපත් කරන ටෙරීගේ දෙමාපියන් ඇයට සහාය ආහාර සැපයුමක් , එනම් නළ හරහා නොව මුඛයෙන් ආහාර ඇතුළු කිරීමට අවසර ඉල්ලා සිටිති. නමුත් ටෙරීගේ රෝග තත්ත්වය අනුව එය කිසිම ඵලදායකත්වයෙන් තොරයැයි විෂය ප්‍රාමාණිකයින් දන්වා සිටියහ. එබැවින් මෝසම ඉවත දැමිණ. යළිත් එම වසරේදී ම නීතිය හමුවට යන ටෙරීගේ දෙමාපියන් තම දියණියගේ නීත්‍යානුකූල භාරකාරත්වය ඉල්ලා නඩු පැවරූ නුමුදු මයිකල් ෂයිවෝ ටෙරී සමග නීත්‍යානුකූලව විවාහ වී සිටි නිසා එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.

මරණයේ අයිතිය ට එරෙහිව ජීවිතයේ අයිතිය 
ඉන් පසු වසර කිහිපය පුරාම නීතිමය කඹ ඇදීමක් සිදුවිය. දෙවතාවක් පමණ නීතිමය අවසරය මත ටෙරීගේ ආහාර සැපයුම නතර කරන මුත් ඇයගේ දෙමාපියන් නැවතත් එය සැපයීම සඳහා අවසර ලබා ගනී.ෆ්ලොරීඩා හි ආණ්ඩුකාරවරයා වූ බුෂ් ගේ සිට ඇමරිකානු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් දක්වාම විහිදුණු මේ ගැටලුවට මානව හිමිකම් ක්‍රියාකාරීන් මැදිහත් වූහ. විරෝධතා , පෙත්සම් අවසානයේ ජනපතිවරයාගේ මැදිහත්වීම සඳහා ආහාර නළය නැවැත්වීම දින හතකින් කල් දැමීමට පවා සිදු විය. අවසානයේ දී 2005 වසරේ මාර්තු මස 18 වැනිදා ඇමරිකානු ඉතිහාසයේම " Right to die." හෙවත් මරණයේ අයිතිය උදෙසා මහත් කතිකාවක් ඇති කළ තීන්දුව ක්‍රියාත්මක විය.

මාර්තු මස 18 වැනිදා ටෙරී ෂයිවෝ ගේ ආහාර සැපයුම නවතා දැමිණ. දින දහතුනකට පසු එනම් , 2005 මාර්තු 31 දා හතළිස් එක් හැවිරිදි ඇය සියලුම දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදී මෙලොවට සමු දුන්නාය. ඇගේ සොහොනෙහි ගලින් කළ සමරු ඵලකයකි. එහි මෙලෙස සටහන් වේ.


ෂයිවෝ
තෙරේසා මාරි 
සොඳුරු බිරිඳ
උපත : 1963 දෙසැම්බර් 03
මෙලොවින් වෙන් වීම : 1990 පෙබරවාරි 25
සැනසුම : 2005 මාර්තු 31
මගේ පිළිණ ඉටු කළෙමි
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: