මාර්තු 16 : ඇමරිකාව දකුණු වියට්නාමයේ මී ලායි (My Lai) හි දී සමූල ඝාතනයක යෙදේ




1968 වසරේ අද වැනි දවසක ඇමරිකානු හමුදා විසින් දකුණු වියට්නාමයේ මී ලායි (My Lai) හි නිරායුධ වැසියන් සමූල ඝාතනය කරනු ලැබිණ.

මේ සිදුවීම ඉතිහාසයට එක්වන්නේ වියට්නාම යුද්ධයේ සාහසිකම සංහාරය ලෙසිනි. කාන්තාවන් ළමුන් , බිළිඳු දරුවන් ඇතුළුව ඝාතනය වූ සංඛ්‍යාව 347 ක් යැයි ඇමරිකානු රජය ඇස්තමේන්තුගත කළ ද වියට්නාම රජය පවසන්නේ මී ලායි සහ මී කේ ගම්මාන දෙකෙහිම ජීවිත 504 ක් විනාශ වී ඇති බවයි. ඇමරිකානු සොල්දාදුවන් විසින් එම නිරායුධ සිවිල් ජීවිත වනසාලූයේ තුවක්කුවෙන් සහ වෙඩි උණ්ඩයෙන් පමණක්යැයි විශ්වාස නොකරන්න. දූෂණයට ලක් වූ , සමූහ දූෂණයට ලක් වූ කාන්තා සිරුරු සහමුලින්ම විනාශ වන තුරුම ඇමරිකානු වෛරය වියට්නාම ස්ත්‍රී සිරුර තුළින් ප්‍රසාරණය වී තිබිණ.


මේ දැක්වෙන්නේ ඒ ඉතිහාසගත සහ අනුවේදනීය ඡායාරූපයයි. තම කුස පෙදෙස තද කරගෙන හඬන රතු පැහැ ඇඳුමකින් සැරසුණු වැඩිමහලු කාන්තාවද අනෙක් දරුවන් භීතියෙන් තැතිගෙන සිටිනයුරු දකින්න. එනමුත් ඒ සංත්‍රාසජනක මොහොතේ සියල්ල පසෙක ලා තම ඇඳුමේ ගැලවුණු බොත්තම් සකසන දරුවෙකු වඩාගත් කාන්තාව දෙස හොඳින් බලන්න. සේයාරුවට මොහොතකට පෙර බලහත්කාරයෙන් බොත්තම් ගලවා දැමුණු ඇගේ ආත්මය , යළි බොත්තම් ලා සැණින් තිබූ පරිදිම පිළිසකර වේයැයි අවසාන මොහොතේ පවා ඇය සිතන්නට ඇත. එනුමුදු සියල්ල විසඳුණේ වෙඩි උණ්ඩයකට අවැසි පරිද්දෙනි. මොහොතකට පසුව මේ සියලුම ගම්වැසියන් සමූල ඝාතනය වූ බැවින් ඔවුන් තම දුක සඟවාගෙන සදාකාලික ඉතිහාසය පත්ලේ වැළලී ගියහ.

මී ලායි සංහාරය අරභයා යුද්ධාධිකරණයේ දී චෝදනා ලබන ඇමරිකානු සොල්දාදුවන් විසි හය දෙනා පහසුවෙන්ම නිදහස් වූහ. ලුතිනන් විලියම් කැලී පමණක් නිරායුධ වියට්නාම වැසියන් විසි දෙදෙනෙක් ඝාතනය කළ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීය. නමුත් ඔහු වසර තුන හමාරක නිවාස අඩස්සියෙන් පසු නිදහස ලැබුවේය. අදටත් නිදහස් පුරවැසියෙක් ලෙස සිවිල් සමාජයේ සැරිසරන්නේය. විලියම් කැලී 2009 වසරේදී මී ලායි සංහාරය පිළිබඳ තමාගේ පසුතැවීම සහ කණගාටුව පළ කරමින් සමාව අයැද සිටියේය. අවසානයේ මෙසේද පැවසීය. "මා මෙය කිවයුතුමයි. මම දෙවැනි ලුතිනන් වරයා වශයෙන් මගේ අණ දෙන නිලධාරියාගෙන් අණක් ලැබුවා. එය මා අමන ලෙසින් ඉටු කළා"

මී ලායි හි දී කාන්තාවගේ බොත්තම් ගලවන්නේ කාමාතුර ඇමරිකානු සොල්දාදුවන් ය. හයක් හතරක් නොදන්න නොදරුවන් ඇතුළු කාන්තාවන් , සිවිල් වැසියන් මරා දමන්නට අණ කරන්නේ විලියම් කැලීය. ඒ ඔහුට එසේ කරන්නට ඉහළින් එන අණ නිසාය. රණ බිමෙන් ඔබ්බට ඔබත් මමත් ජීවත් වන ලෝකය මෙයට වඩා සුන්දරයයි ඔබ සිතනවාද ? කාන්තාව කෙරෙහි මෙයට වඩා වූ ගෞරවනීය කියවීමක් ඇත්තේ යැයි ඔබ විශ්වාස කරන්නේද ?
එක් පසෙක ලෝක කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩ තබන , මර හඬ තලන , ලිබරල් අදහස් වපුරන කාන්තාවන්ය. නමුත් තමන්ට නොරිසි පුද්ගලයෙකුට පහර දෙන්නට වුවමනා වූ විට ඔවුන්ගේ පළමු කාර්යය වන්නේ විරුද්ධ පාර්ශවයට අදාල කාන්තාවන්ගේ බොත්තම් ගැලවීමය. ඇමරිකාවට සිටියේ මිනිසෙකුගේ අණ පරිදි මිනිස් ජීවිත සංහාරයක යෙදෙන තවත් මිනිස් හමුදාවකි. අපට සිටින්නේ එක් කාන්තාවකගේ ශුද්ධවන්තභාවය පහදනු පිණිස තවත් කාන්තාවකගේ බොත්තම් ලෝකයා හමුවේ ගලවන්නට ඉදිරිපත් වන කාන්තා හමුදාවන් ය.
මී ලායි වල කාන්තාව ඒ මරණීය මොහොතේ පවා තම ගැලවුණු බොත්තම් සකසන්නට තැත් කරන්නීය. නමුත් අප සිටින්නේ තම ජීවිත තුළ ගැලවුණු , ගැලවෙමින් පවතින බොත්තම් සහ බොත්තම් කාස නොදකින අනුන්ගේ බොත්තම් කාස වලින් ඔවුන්ගේ නිරුවත සොයන , ඇඟිලි දිගු කර ලොවට පෙන්වන සමාජයකය. මිත්‍රවරුනි , ස්ත්‍රියගේ ගෞරවය කෙළසන්නේ තුවක්කු බයිනෙත්තු රැගත් ඇමරිකානු පිරිමින්ම පමණක් යයි සිතන්නේ නම් එය වැරදි වැටහීමකි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment