මාර්තු 06 : ජෝසප් ස්ටාලින්ගේ දියණිය ඇමරිකාවේ රැකවරණ පතා පලා යයි


1967 වසරේ අද වැනි දවසක සෝවියට් ඒකාධිපති ජෝසප් ස්ටාලින්ගේ දියණිය ඇමරිකාවේ දේශපාලන රැකවරණ පතා පලා යන්නීය. 

ස්වෙත්ලානා ඇලිලුයේව (Svetlana Alliluyeva) හෙවත් ස්වෙත්ලානා ලෝසිෆෝනා ස්ටැලීනා (Svetlana Iosifovna Stalina) ඇමරිකාවට පලායාම සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයට එල්ල කළ මරු පහරක් ම විය.

1953 වසරේ දී ජෝසප් ස්ටාලින් මිය යන්නට පෙර ද ඇය ගත කළේ තෘප්තිමත් ජීවිතයක් නොවන බව පැවසිය යුතුය. සාහිත්‍යය සහ කලාවට මහත් සේ ඇලුම් කළද පියාගේ අණ පරිදි ඇය, මොස්කව් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ උපාධිධාරිනියක් බවට පත් වන්නීය. ස්වෙත්ලානා වයස 16 දී 40 හැවිරිදි ඇලෙක්‌සෙයි කැප්ලර් නම් සෝවියට්‌ සිනමාකරුවා සමග ප්‍රේමයෙන් වෙළෙන මුත් ඒ පිළිබඳව උරණ වූ ස්ටාලින්ගේ අණ පරිදි ඇලෙක්සෙයිව සයිබීරියාවේ පිහිටි වර්කුතා වහල් කඳවුරට නෙරපා හැරිණ. පියා මිය යනවිට විසි හත් හැවිරිදි වූ ස්වෙත්ලානා ඒ වන විටත් විවාහ දෙකකින් වෙන් වී සිටියාය.

මොස්කොව් සරසවියේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ස්වෙත්ලානා හට මීළඟ ඉරණම්කරු මුණ ගැසේ. රුසියාවේ සංචාරයක යෙදී සිටි ඉන්දියානු කොමියුනිස්‌ට්‌ පක්‍ෂ ක්‍රියාකාරිකයකු වූ බ්‍රාජේශ් සිං සමග වසර තුනක් එකට ගත කළද ස්වෙත්ලානා හට ඔහු සමග නීතියෙන් විවාහ වීමට අවසර ලබා නොදෙන්නේ සෝවියට් බළධාරීන් විසිනි. ඒ වන විටත් ඇය පෙර විවාහයන්ගෙන් දෙදරුවන් ලද මවකි. 1966 වසරෙදී බ්‍රාජේශ් සිං බ්‍රොන්ක්‍රයිටීස්‌ රෝගයෙන් මිය යන්නේය. ඔහුගේ භෂ්මාවශේෂ ද රැගෙන ඉන්දියාව බලා යන ස්වෙත්ලානා චාරිත්‍ර වලින් පසුව එහිම නවාතැන් ගන්නීය. තව කෙටි කාලයක් මෙහි රැඳී සිටින්නට සෝවියට් තානාපති කාර්යාලයෙන් අවසර ඉල්ලා සිටියාය. නමුත් ඔවුන්ගේ පිළිතුර වන්නේ තව මොහොතක් හෝ ඉන්දියාවේ නොරැඳී වහා රුසියාව බලා පිටත් විය යුතුය යන්න ය.
සෝවියට් දේශයට වරදින්නේ එතැනදීය. නවදිල්ලි හි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත ඇදෙන ස්වෙත්ලානා ඇලිලුයේව, තමා ජෝසප් ස්ටාලින්ගේ දියණිය බවත් තමන්ට ඇමරිකානු රැකවරණ අවැසි බවත් පවසා සිටියාය. තරමක් විස්මයට පත් තානාපති කාර්‍යාලය මෙපුවත ඇමරිකාවට දන්වති. ඇමරිකාවෙන් උපදෙස් එනතුරු " යළිත් වරක් සිතා බලන්න. දරුවන් සිටින නිසා තීරණය වෙනස් කරන්නට සිතෙන්නට පුළුවන්" යනුවෙන් තානාපති නිලධාරීන් පවසා සිටියද ස්වෙත්ලානා ගේ තීරණය වෙනස් කිරීමට නොහැකි විය. "මාව භාර ගන්නේ නැත්නම් මම මාධ්‍ය හමුවක් තියලා කියනවා ඇමරිකාව මාව ප්‍රතික්ෂේප කළ බව" ඇය මුරණ්ඩු ලෙස තම ස්ථාවරයේම රැඳී සිටියාය. අවසානයේ නවදිල්ලියේ සිට රෝමය දක්වා සංචාරය කරන ස්වෙත්ලානා එහි සිට ඇමරිකාවට ළඟා වන්නීය.
ස්වෙත්ලානා තම දෙදරුවන් සෝවියට් දේශයේ දමා විත් තිබූ නුමුදු ඇය විශ්වාස කළ පරිදි එමොහොතේ වෙනත් විකල්පයක් තිබුණේම නැත. සෝවියට් බලධාරීන් ගේ පාලනයට නතු වූ දරුවන් ඇයගෙන් ඈත් වන්නට වූ අතර ස්වෙත්ලානා ස්ටැලීනා ඒ වන විටත් තම පියාගේ නාමය සබැඳි ස්ටැලීනා නමෙන් වියුක්ත වී සිටියාය. රුසියානු රහස් ඔත්තු සේවා ඇය පසුපස හඹා එන්නට වූ නමුත් ඇය ද කේ.බී.ජී ඔත්තු සේවය සහ සෝවියට් පාලනය විවේචනය කරන්නට කිසිවිටෙකත් පසුබට නොවූවාය. එපමණක්ද නොව , ජෝසප් ස්ටාලින් නම් වූ එකාධිපති පියා කෙරෙහි පැවති දැඩි වෛරය ද කිසි දිනෙක සංසිඳුණේම නැත.
සෝවියට් සමූහාණ්ඩුව සහ ස්ටාලින් අගයමින්, ඉන් නොනැවතී ඇමරිකාව වර්ජනය කරන්නැයි මර හඬ තලන දේශපාලනික ප්‍රවාහයක් මැද අප වික්ෂිප්තව බලා හිඳිනෙමු. මිත්‍රවරුනි , ජෝසප් ස්ටාලින්ගේ දියණියද සෝවියට් දේශයට යන්නට බැහැයි කියා පලාගොස් ඇත්තේ ඇමරිකාවටම ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment