මළ / නොමළ දෙව්මි නංගී වෙතටයි


මළ / නොමළ දෙව්මි නංගී වෙතටයි ,

නංගී තවමත් ජීවතුන් අතර ඉන්න වග අසා අපි ඉමහත් කම්පාවට සහ සෝකයට පත් වීමු. ඔයා නොමළ සෝකය නිසාම අපේ රටේ ප්‍රමුඛ පෙළේ වෙබ් සයිට් කීපයක බහිස්‍රාවීය කටයුතු ද අඩාල වූ බව නංගී දන්නවාද ? සද්ගුණවත් ලක්වාසී ජනතාව නංගීගේ බෝයි ෆ්‍රෙන්ඩ් ට ඉල්ලූ හෙණ , හතේ ගුණාකාර වලින් , සැෂේ පැකට් වලින් ලංකාව වටා අහසේ කරකැවෙමින් තිබෙන නිසා ඉදිරි දිනවල දී තද අකුණු සහිත වැසි වැටෙතැයි අප බලා සිටින්නෙමු. නංගී ද දොට්ට පිලට යනකොට පරිස්සම් වෙන්න. 




නංගීට නිසා කියමි. අපේ මාද්ය අය්යලා ...එදා ඉඳන් ඔහොමය. ඒ අයට වංගෙඩියක් උඩින් චීත්තයක් වැනුවත් ඇතිය. 

අවුරුදු 4 ට උඩ දී ලංකාවේ ප්‍රධාන ප්‍රව්‍රුත්තිය වුණේ දන්තුරේ නිරෝෂා විමලරත්න නම් නාටිකාංගනාවකි. "නයි නළඟන" නමින් ඇයව බෞතීස්ම කළ අපේ මාද්ය අය්යලා ඉන්දියාවේ වෙසෙන මව් නැයින්නක් , නාග වරමක් , පර්සියානු පෙම්වතෙක් ආදී විච්චූරණ බොහොමයක් ගැන තලු මර මරා පැවසූහ. අවුරුද්දකට වරක් ඉන්දියාවේ ගොස් මව් නැයින්න මුණ ගැසෙනවා යැයි කියූ මේ නාග කන්‍යාව කිසිදිනෙක රටින් පිටව නැතැයි ඔප්පු වූ අතර ඇය පිළිබඳ අවසාන වාර්තා වූයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවෙක් ප්‍රසූත කිරීම සහ ඒ දරුවා විකුණන්නට තැත් කර නීතියේ රැහැනට හසු වීමත් ය.


නිරෝෂා විමලරත්න : නයි නළඟන 

මීට අවුරුදු 12 ට පෙර රටේ ජාතික නාලිකාවේ ගුවන් කාලය වෙන් වුණේ කුමාරි කුරේ නැමති විවාහක ,මැදිවියේ ගැහැනියකගේ ප්‍රේම ආරවුල් විසඳීමටය. අන්න ආරවුල් ! ඊයේ එක කතාවකි. අද වන විට ඒ කතාව සහමුලින්ම වෙනස්ය. "මේ ආදරයයි" කැළේය. දිනපතා අටේ ප්‍රව්‍රුත්ති වලින් කුමාරි කුරේ ගේ අනියම් සබඳතා අසා සිටි අපට අන්තිමට අසන්නට වුණේ 2005 එක් දවසක කුමාරි කොල්ලුපිටිය කානිවල් අයිස් ක්‍රීම් සාප්පුවේ තාප්පෙන් පැන්න කතාව ය. තාප්පෙන් පැන පෙට්‍රල් කෑන් එකක් ඔලුවේ සිට හලාගෙන ගිනි තබාගෙන මිය ගිය පුවත ය. 


කුමාරි කුරේ : පුංචි තිරයෙන් සුසානයට 

අවුරුදු 21 ට කලින් 1995 දී ලංකාවේ ප්‍රව්‍රුත්ති වල ප්‍රධාන මාත්‍රුකාව වුණේ රෝහිණී හතුරුසිංහය. කොබ්බෑකඩුව ඝාතන කොමිසමේ ප්‍රධාන සාක්ෂිකාරිය වූ මේ එක් දරු මවගෙන් පිටවන කිවිසුමක් පවා පුවත්පත් සිරස්තලයක් වන මට්ටමට ඇය මාද්ය අය්යලා අතර දේවතාවියක් වී තිබුණාය. තාත්තා කවුදැයි නොදන්නා දරුවෙක් සමග මේ ගැහැණිය දොඩවන්නේ මුසාවාද බව තේරෙන විට කොමිසමටත් , අපේ මාද්ය අය්යලාටත් දත කට පූට්ටු වී හමාරය. අටේ ප්‍රව්‍රුත්ති වලින් වීරවරියක කළ රෝහිණී හතුරුසිංහට කොබ්බෑකඩුව කොමිසමේ නාමයෙන් අවසානයේ ඉතිරි වූයේ තාත්තා කවුදැයි නොදන්නා තවත් දරුවෙක් පිළිසිඳ ගැනීම පමණකි.

කැළුම් රෝහිණී හතුරුසිංහ : නිර්ලජ්ජී මුසාවාදයේ උපත 

ඉතිං දෙව්මි නංගී,

මේ පාර නම් බබා හම්බ වුණේ ඔයාට නෙමේය. අපේ නමගිය වෙබ් සයිට් ටික කරන අය්යලාටය. පෙට්‍රල් හලාගෙන ගිනි තියා ගන්න ඕනෑ එයාලා වුණත් දාන නිවුස් වල හැටියට එයැයිලාට සුවල්ප වසයෙන් හෝ විලි ලැජ්ජාවක් තියෙනවායැයි හිතන්නටවත් බැරිය.

නංගී මළ විදියට ඉන්නේ නැතිව උත්ථානය ලබා ආතල් කැඩූ එක ගැන ඒ අය්යලාට දැන් ඌරු ජුවල් ය. ජනතාව නොමග යැවූ දෙව්මි නංගීව කුරුසියේ තබා ඇණ ගසන්නට නීති ප්‍රතිපාදන සොයන්නෝය. ඒත් නංගීගේ සකලබුජං ප්‍රොෆයිල් එකේ තිබූ බේසම් ලවක් දෙවක් නැතිව සේදූ ඒ අය්යලා ගේ පතිවත බිඳී නැත. ඒ අපේ මාද්ය වල හැටිමය.

ලබන අවුරුද්දේ ඉඳන් ජනමාධ්‍ය සම්මාන උළෙලේ දෙව්මි පෙරේරා නමින් සම්මානයක් දෙන්ට වටිනවාය. 
මම නවතිමි. 

දෙව්මි නගාට සුභ උත්ථානයක් !

- 2016 අප්‍රේල් 04 -
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment