කුලියාපිටිය : නොතලන් මල් කැකුළු


මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ "සෙංකොට්ටං" හි වීරප්පුලි හේනයා ට තම ආදරණීය මුණුබුරා වන බබා හේනයා ව පාසලට ඇතුළත් කිරීමට ඉඩ නොදෙන්නේ සුන්දර යැයි කියා ගන්නා ගම ය. එහි වෙසෙන නිර්ව්‍යාජයැයි කියා ගන්නා ගම්වැසියන් ය. ඒ සංවේදී සිදුවීම අවසන පිටගංකාරයෙකු වූ ගුරුවරයාගේ පමණක් නොව "සෙංකොට්ටං" අතැතිව සිටින පාඨකයාගේ ද දෑස් පටලයකින් බොඳ වී යන්නේය. නමුත් එය ප්‍රබන්ධයකැයි සිතා සැනසෙන්නට උත්සාහ ගන්නා ඔහුට මේ කියවන්නට ලැබෙන්නේ ඒ හා සමාන වූ තවත් පුවතකි. විශේෂඥ වෛද්‍යවරුන් ගේ මතය පවා නොඉවසන පාරිශුද්ධ ගම් වැසියන් පිරිසක් සහ දුයිෂෙන්ගේ පා දූවිල්ලක නොදැවටෙන අධ්‍යාපන බලධාරීන් පිරිසක් හමුවේ තවත් කතා පුවත් දෙකක් සිහි නගනු කැමැත්තෙමි.

මේ ප්‍රින්සි මංගලිකා ගේ කතා වස්තුව ය.........
ප්‍රින්සි මංගලිකා

ප්‍රින්සි මංගලිකා තමා HIV ආසාදිතයෙකු බව දැන ගන්නේ 2001 ජූලි මස 09 වැනිදා ය. ඒ ඊට හරියටම දින 07 ට පෙර ඇගේ සැමියා HIV ආසාදිතයෙකු බව පරීක්ෂණ වලින් හෙළි වීමෙන් අනතුරුවය. ඉන් පසුව එළඹියේ පවු නොකළ සුපින්වතුන් විසින් පවු කළවුන්ට ගල් ගැසීමේ වාරයයි.
"කොහොම හරි රෝහලට අපේ රහස්‍ය බව රැක දෙන්න බැරි වුණා. රෝහලේ හිටපු සේවකයෙක් නිසා. ගමේ කෙනෙක් වූ මෙයා ගමට ඇවිත් ගම පුරා මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය කළා. මිනිස්සු නොසන්සුන් වුණා‍. මහත්මයා මේ නිසා වස බී සිය දිවි නසා ගත්තා 2001 ජූලි 27 වැනිදා. අපේ‍ ගෙදරට ගිනි තැබුවා. දූලා දෙන්නටම ඉස්කෝලේ යන්න බැරිව අධ්‍යාපනය කඩාකප්පල් වුණා"
නමුත් ප්‍රින්සිගේ ධෛර්යයට ගල් ගසන්නට වත් ගිනි තබා දමන්නට වත් පිට කොඳු නැති ගම් වැසියන් ශක්තිසම්පන්න වූයේ නැත. ඇය අදවන විට "පොසිටිව් විමෙන්ස් නෙට්වර්ක්" නම් වූ ස්වේච්ඡා සංවිධානයේ සිට HIV ආසාදිත කාන්තාවන්ට පිහිට වන්නීය. ඇය මේ වන විට තම දියණියන් දෙදෙනා ද විවාහ කර දී තමාට ගල් ගැසූ , තම නිවස ගිනි තැබූ මිනිස් සංහතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සිටින්නීය.
දැන් කුලියාපිටියේ සිටින්නේ සියඹලාගොඩ දී ප්‍රින්සිලාට ගල් ගැසූ සිල්වතුන් ගේ දරු පරපුර විය යුතුය. ඔවුන් අපේක්ෂා කරන්නේ එදා ප්‍රින්සිගේ සැමියා මෙන් අද මේ මවත් දරුවාත් වස පානය කර මිය යා යුතු බව වන්නට ඇත. තම දරුවා පමණක් දරුවෙක් යැයි සිතන අමනයින් පාසල ඉදිරිපිට "අන්ත්‍රාවයි" යනුවෙන් දැන්වීම් පුවරු සවි කරන්නේ එබැවිනි. නිදහස් අධ්‍යාපනය ඒ නොදරුවාගෙන් උදුරා ගන්නට වලි කන්නේ එබැවිනි.
මේ සියලුම විලම්බීතයන් මැද සතුටට කාරණය වන්නේ ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දක්වන අදහස් පිළිගැනීමට සූදානම් නැති අතිශය උගත් සහ බුද්ධිමත් ගම්වාසීන් ප්‍රජාවක් වයඹ පළාතේ වෙසෙන බව දැන ගන්නට ලැබීමය. ඒ සුවිශේෂී බුද්ධිමතුන්ගේ ගණයට වයඹ අධ්‍යාපන බලධාරීන් ද , අධ්‍යාපන කාර්‍යාලයීය නිලධාරීන් ද ඇතුළත් විය යුතුමය.

මේ ඔවුන්ගේ සනුහරයේ කතා වස්තුවය.........

තනි තටුවෙන් පියාඹන්න | 2002 | නොකියූ සැබෑ කතාව
ගම කුරුණෑගල ය. අනූව දසකයේ මැද භාගය ය. පොල්වත්තක මුරකුටියක වෙසෙන මුරකාර පවුලක රූමත් , වයසට වඩා පෙනුමෙන් යුතු දියණියක වේ. පාසල් ගමනට නැවතීම තබා සිටි දහසය හැවිරිදි ඇයට විවාහ යෝජනාවක් ගෙනෙන්නේ ගමට අලුතින් පැමිණ දෑතේ මහන්සියෙන් හම්බ කරන තරුණයෙකි. ඔහු පවසන ආකාරයට හමුදාවේ සිටි අයෙකි. ඇදුම රෝගය නිසා හමුදා සේවය අතහැර මේ ගමට පැමිණි අදාල තරුණයා පොල් ගස් නැග , කුලී වැඩ කර එදා වේල සරි කරගන්නා ශක්ති සම්පන්නයෙක් වන අතර දෙමාපියන්ගේ ද කැමැත්ත මත බාල වයස්කාරිය වැඩි වයසක් සඳහන් කර විවාහ කර ගනී. වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුග දිවියේ දී තම සැමියා අඳුරේම පමණක් අඹු සැමි සබඳතා පැවැත්වීමට රුචි බවත් වාඩි වී මුත්‍රා කිරීමට පෙළඹෙන බවත් පපුව තරමක් ඉදිරියට නෙරා ඇති බවත් භාර්යාවට නිරීක්ෂණය වේ. එක් දිනක අසනීප වන මේ සැමියා ඔහුගේ බලවත් විරෝධය මැද වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරේ.එතැනින් පැවසෙන්නේ මෙතරම් කාලයක් තරුණිය සමග යුග දිවිය ගත කර ඇත්තේ පිරිමි වෙස්වළා ගත් ගහැණියක බවය. තරුණිය එතරම් කලක් පුරුෂ ලිංගය යැයි සිතා ඇත්තේ රෙදි පාංකඩ යෙදූ උපත් පාලන කොපුවකට බව ය.
මේ කතාව මා පවසන්නේ ඔය කියන පළාතේ ඇත්තන්ගේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම තක්සේරු කිරීමට ය. සමාජ රෝග ගැන විද්වත් අදහස් දක්වන ගම් පළාතේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය පවා නරි නාඩගමක් වන ආකාරය සිහි කිරීමට ය.
දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය උදුරා ගන්නට වෙර දරන මේ ඊනියා සමාජ රෝග විශේෂඥයින් බිහි වී වී ඇත්තේ පුරුෂ ලිංගයක් සහ පාංකඩ වලින් සෑදූ ලිංගයක් වෙන් කර හඳුනා ගත නොහැකි ගැහැණුන් සිටින පළාතකින් ය. සමාජ රෝග ආසාදනය පිළිබඳව නව මත පැණ නගින්නේ තම සැමියාගේ සිරුර ඇහැට දැක නැති ගැහැණුන් සිටින පළාතකින් ය. අධ්‍යාපන බළධාරීන් පවා බර තබන්නේ ගැහැණියකු සහ පිරිමියෙකු අතර වෙනස හඳුනා ගත නොහැකි මිනිසුන් පතුරවන කටකථාවන්ට ය.
රෙදි පාංකඩයකින් ජීවයේ පැවැත්ම උදා වන තෙක් කකුල් ඈත් කර වහලයේ පරාල ගණිමින් සිටින්නට මිස ලිංගික අධ්‍යාපනයේ "අ" යනු 'ඈ" යනු නොදන්නා ලංකාවාසී පවුනොකළ ඇත්තන්ට මෙසේ පවසමි.

ඔබගේ දරුවා ඇහිඳින්නට ඇත්තේ රෝස කැලෙන්ය. 

නමුත් මේ දරුවා ජීවයේ පැවැත්මට අනුගතව ලේ මස් නහර සහිතව මව් කුසකින් උපන් මනුෂ්‍ය ප්‍රාණියෙකි. එබැවින් කොක්කු ගෙනවිත් දැමූ ඔබගේ රෝස පොහොට්ටු ඔබ ළඟම තබා ගන්න. මනුසත් කුලේ දරුවෙක් ලෙස අධ්‍යාපනය ලැබීමට මේ නොදරුවාට ඇති අයිතියට අවහිර නොකරන්න.



2016 මාර්තු 01
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment