ඉරණවිල එළිය


2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,
දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා සමග වොෂින්ටනයේ ගත කරන්නට නොලැබීම ගැන මගේ කණගාටුව ! කෙසේ නමුත් ජනවාරි මස අගභාගය වන විට අප සැම දෙනාටම නැවතත් ඇමරිකාව බලා පැමිණීමට හැකිවන ලකුණු දිස් වේ. අපගේ කණ්ඩායම් භාර නිළධාරී සෑමුවෙල් පවසන්නේ මේ දිනවල සියලු දෙනාම මහත් ප්‍රබෝධයකින් කටයුතු කිරීමේ රහස එය බවයි . ඔහු මේ ව්‍යාපෘතියට සම්බන්ධ වී වසර අටකටත් වැඩි නිසා ඒ නිරීක්ෂණය නිවැරදි වෙන්නත් පුළුවන්. වසර අටක් ලංකාවේ ...? හ්ම්ම් ….? මට නම් මගේ වසර එකහමාරත් බැබිලෝනියානු විප්‍රවාසගතවීමත් අතර ලොකු වෙනසක් පේන්නේ නෑ. එතරම් කටුක සහ නීරස පරිසරයක්.
ජෙසිකා දුව , අම්මාගේ ශල්‍යකර්මයට පෙර මට ආපසු නිවසට එන්නට හැකියාව ලැබේවා කියා දෙවියන්ගෙන් ඉල්ලන්න. අපි කිසි විටකත් බලාපොරොත්තු අත් නොහැරිය යුතුයි. ඒ බව මතකයි නේද ?
ඔබ සැමට දෙවි පිහිටයි !

ප.ලි : 
කරුණාකර ඩොරති නැන්දාගේ විකාර කතා වලින් අම්මා ඈත් කර තබන්න. ඊ මේල් යැවීමට පමණක් අවසර ඇති මේ වැඩබිමේ ස්කයිප් පැමිණීමට විශේෂ අවසරයක් ලැබී ඇත්තේ අම්මාගේ රෝගී තත්ත්වය පිරික්සා බැලීමටයි. නමුත් එලෙස ස්කයිප් පැමිණි සෑම විටකම අම්මා අසන ඒකාකාරී මෝඩ ප්‍රශ්න වලින් මා හෙම්බත් වී සිටිමි.
ඔය සියලුම මනස්ගාත අම්මාගේ ඔලුවට දමන්නේ ඩොරති බවත් මා හොඳින්ම දනිමි. 2009 වසරේන් පසුව ලංකාවේ යුද්ධයක් නැති බවත් මේ රටේ පාර පුරා බෝම්බ වළලා නැති බවත් නැවත නැවතත් පැහැදිලි කර දීම මට මහත් හිරිහැරයකි. ඒ ඇරත් ඉරණවිල යනු කෙදිනකවත් යුද්ධයක් නොතිබූ සාමකාමී ප්රදේශයකි.

මා සිටින්නේ බැග්ඩෑග් වල හෝ ඇන්කරා වල නොව ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ බව ඔය ඩොරති එළදෙනට වටහා දෙන්න.

මීට ආදර තාත්තා 
පැට්‍රික් මයිල්ස් ක්ලාර්ක්
.................................................................................................

2016.12.20
රෝහිණී යටිගම්මන 
නො. 93 , එරත්න පාර,. කුරුවිට

රෝහිණි වෙත ,
මේ මාසේ පඩිය බැංකුවට වැටිලා ඇති. ගිය පාර වගේ කාඩ් එක හිරකරගන්නේ නැතිව සල්ලි ගන්න. තනියම ගන්න අමාරුයි වගේ හිතෙනවා නම් මහේෂ්ව අඬගහගෙන යන්න. පොත තියෙන්නේ මගෙ නමට නිසා කාඩ් එක හිරවුණොත් මටම ඇරෙන්න වෙන කාටවත් දෙන්නේ නෑ. ගියපාරත් බැංකුවෙන් ඔය කතාව කිව්වා මතකයි නේද ?
දැන් මෙහේ ගජරාමෙට වැඩ.ජනවාරි වලින් අපේ කාලෙත් ඉවර වෙන වගක් ආරංචියි.අවුරුදු දෙකක් ගියා දැනුණේම නෑ. අපරාදේ. තව අවුරුද්දක් හමාරක් වැඩ තිබ්බා නම් කීයක් හරි ඉතුරු කරගන්නත් තිබ්බා. ඒත් එක අතකින් බලනකොට ණය තුරුස් ටික බේරගත්ත එකම් මදැයි? ආයෙමත් ගෙදර ඇවිල්ලා රස්සාවක් හොයාගන්න ඕනේ. මෙහෙට නම් ආයේම ඩ්‍රයිවර්ලා ඕනේ වෙන පාටක් නෑ. සුද්දෝ එක්ක එක දිගට වැඩිම කාලයක් වැඩ කරලා තියෙන්නේ මමලු. තරුණ කොල්ලන්ට මේ තැන්වල හිරවෙලා වැඩ කරන්න බෑ. ෆෝන් එකක්වත් පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා උන් වැඩි කාලයක් ඉන්නේ නෑ. ගුවන්විදුලි සේවයක් කිව්වට වැඩ තනිකරම හමුදාව වගේනේ.
මට ගියපාර ආවාම කියන්න අමතක වුණා. ත්‍රී වීල් වල යනකොට ටිකක් පරිස්සමෙන්. අර කොණ්ඩ සමන්තයා එක්ක යන්නම එපා. ඌ දැන් කුඩු ගහනව වගේ.
එහෙනම්. මම නවතින්නම්. සයිට් එකෙන් එළියට ආපු වෙලාවකට කෝල් එකක් දෙන්නම්.
බුදු සරණයි !

මීට ආදරනීය 
නිමල්සිරි 
.................................................................................................

2017.01.01
From      : Supervisory Team 
To          :  Iranavila Officer’s Group 
Subject  : Happy New Year 2017

සුබ නව වසරක් වේවා ! 

ව්‍යාපෘති මෙහෙයුමේ සියලුම කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවෙනු ඇතැයි අපේක්ෂා කරමු. ලබා දුන් සැලසුම් සහ ඉලක්කගත දිනයන් - හෝරාවන් හි සුළු හෝ වෙනසක් ඇත්නම් ඔබගේ රපෝර්තු ධූරාවලිය හරහා අධීක්ෂණ මඩුල්ල දැනුවත් කළ යුතු වේ.
ස්තුතියි !

අධීක්ෂණ මෙහෙයුම් නිළධාරී

මෙය ස්වයංක්රීයව උත්පාදනය වන ඊ මේල් පණිවුඩයක් වන බැවින් පිළිතුරු දීමෙන් වළකින්න
.................................................................................................

2017.01.03
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා
ඔබ දෙදෙනාටම සුබ නව වසරක් !
මේ දිනවල අපි අතිශයින්ම කාර්යබහුලයි. පවසන ආකාරයට මෙවර මෙහෙයුම අසාර්ථක වුවහොත් තවත් මාස 06 ක් හෝ අවුරුද්දක් මේ රටේ නැවතී සිටීමට සිදු වේ. මා දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මාසය අගදීම මට නැවතත් ඇමරිකාවට පැමිණීමට සලස්වන ලෙසයි.

ඡායාරූප වලට අනුව නම් අම්මා වෙනදාට වඩා සුවයෙන් සිටින බව පෙනේ. පිළිකාවක් සමග සටන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඔබ ළඟ නොසිටියා නම් මේ තත්ත්වය මීටත් වඩා බැරෑරුම් වන්නට ඉඩ තිබිණ..
ඔබටත් අම්මාටත් දෙවියන්වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා !

මීට ආදර තාත්තා 
පැට්‍රික් මයිල්ස් ක්ලාර්ක්
.................................................................................................

2017.01.04
රෝහිණී යටිගම්මන 
නො. 93 , එරත්න පාර, කුරුවිට

රෝහිණි වෙත ,
අපි එදා අනුරාධපුර ගිය පාර දවස් දෙකක්ම හිටියා. මේ පාර ගියේ අලුතෙන් ආපු සුද්දෝ දෙන්නෙක්. කිසි කරදරයක් නෑ. රුවන්වැලි සෑය වටේ ඇවිදපු එක ඇරෙන්න වෙන දෙයක් කළේම නැති තරම්.
හවසට හෝටලේට ගියාට පස්සේ මට කැමති තැනක ඇවිදලා එන්නත් කිව්වා. ඔයාට කෝල් එකක් ගත්තේ ඒ වෙලාවේ තමයි. කාලෙකට පස්සේ වැව් වතුර ටිකක් නාගත්තා.
හෝටලේ ඇතුලෙන් කවුරු හරි වෙන්න ඕනේ , මැටි වලින් හදපු රුවන්වැලි සෑයක් අපේ මහත්තුරු දෙන්නට විකුණලා. හොඳ ගාණකට විදින්න ඇති. රෑ තිස්සේ දෙන්නාම ඒක දිහා බලාගෙන ඒ ගැන ලොකු කතාවක. මම නම් වචනයක් කියන්න ගියේ නෑ රෝහිණී. අපේ රටේ එකෙක් කීයක් හරි හොයාගත්තාම මොනව වෙනවද ?
ඔයා තාම අර පොල් ගහ කපන්න කාවවත් හොයාගත්තේ නැද්ද ? මම එනකම්ම ඉන්නවද ඒකටත්? ඔය මඟුල ගේ උඩට කඩාවැටෙන්න කලින් ඉක්මණටම මොකක් හරි කරන්න.

මම නවතිමි

මීට ආදරනීය 
නිමල්සිරි 
.................................................................................................

2017.01.10

From      : Supervisory Team 
To          : Iranavila Officer’s Group 
Subject  : Reminder

අවසන් අදියර සඳහා ඇත්තේ තව දින හතරක් පමණි.
කරුණාකර ඔබට අදාල සියලුම පැවරුම් වල නවතම තත්ත්වයන් පද්ධතියට යාවත්කාලීන කරන්න.
ස්තුතියි !

අධීක්ෂණ මෙහෙයුම් නිළධාරී
මෙය ස්වයංක්රීයව උත්පාදනය වන ඊ මේල් පණිවුඩයක් වන බැවින් පිළිතුරු දීමෙන් වළකින්න
.................................................................................................

2017.01.10

From     : Operation’s Manager - Iranavila 
To         : Supervisory Team 
Subject : Update as at 10.01.2017

* සංචිතගත දත්ත 100% ක් සාර්ථකව පිටපත් කර ගැනීමට සමත් විය. තහවුරු ය. 
* මෙහෙයුම් අදියර 22 ක් තුළ දී තැන්පත් කරන ලැබ තිබූ චිප් සංඛ්‍යාව 21 කි. තහවුරු ය.
* එයින් චිප් 20 ක්ම ක්‍රියාකාරී තත්ත්වයේ පැවති අතර දත්ත පිටපත් කරගෙන නැවත පරීක්ෂා කිරීමෙන් පැය 6 කට පසු චිප් 21 ම අක්‍රිය තත්ත්වයට පත් කරන ලදි. තහවුරු ය.
* අවසාන මෙහෙයුම සඳහා ඉල්ලුම් කළ වර්ගයේ චිපය ඊයේ අප වෙත ලැබිණි. අදාල කේත කිරීම් වලින් අනතුරුව දින දෙකකින් පසු 2017.01.12 දින තෝරාගත් සම්ප්රේෂකයා වෙත එය ලැබීමට සලස්වමු. 
* සම්ප්‍රේෂකයා දැනට භාවිතා කරන වර්ගයේම යානාවක් ගෙන්වා ගතිමු. එය මේ වන විට අපගේ අවශ්‍යතාවට අනුකූලව හැඩගස්වා ඇත. ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. තහවුරුය
* ආපදා තත්ත්වයකදී අපහසුතාවයට පත් නොවනු පිණිස අනෙක් චිප් තැන්පත් කළ සීමාවට වඩා උසින් එය තැන්පත් කළ යුතු බවට උපදෙස් ලැබී ඇත. එම උපදෙස් ක්‍රියාත්මක වනු ඇත.
* කාලගුණ තත්ත්වය සහ අනෙකුත් සාධක යහපත්ව පවතී. මෙහෙයුම බාධාවකින් තොරව සිදු වේ.

සැමුවෙල් ජැක්සන් 
මෙහෙයුම් කළමණාකරු 
.................................................................................................

2017.01.10
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා
අතිශයින් කාර්යබහුල සහ වෙහෙසකර දින කිහිපයක්. 
නිදහසක් ලද වහාම දුව සමග වැඩි විස්තර කතාකිරීමට උත්සාහ කරන්නම්. අම්මාව ආදරයෙන් මතක් කළ බවද කියන්න

දෙවි පිහිටයි !
මීට ආදර තාත්තා 
පැට්‍රික් මයිල්ස් ක්ලාර්ක්
.................................................................................................

2017.01.12
රෝහිණී යටිගම්මන 
නො. 93 , එරත්න පාර,. කුරුවිට

රෝහිණි ,
චාජර් එක වැඩ කරන්නේ නැත්නම් අලුත් එකක් අරගන්නේ නැතිව මොන මඟුලක් කරනවද ? ඊයේ මම තලවතුගොඩට ගියා. වීඩියෝ කරන මහත්තයෙක්ට පෙට්ටියක් භාර දෙන්න තිබ්බා. ඒ එන ගමං කෝල් ගත්තාම ෆෝන් එක වැඩ නැහැ. අක්කලගේ ගෙදරට ගත්තාම තමයි චාජර් එකේ කතාව කිව්වේ.
එන ගමන් රත්තනපිටියේ නැන්දලගේ ගෙදරටත් ගොඩ වුණා. ගෙදරටම අල්ලලා කොමිනිකේෂන් එකකුත් දාලා. බාල එකා ඉන්නේ කොරියාවෙලු. උන්ට ටිකක් කොරියාවේ ඌස්නේ ගහලා වගේ. වෙලාවට මම අත වන වනා යන්නේ නැතිව බිස්කට් ටින් එකක් අරගෙන ගියේ.
මේ ටිකේ අලුතෙන් ආපු මහත්තුරු දෙන්නා එක්ක තමා වැඩ. එයාලට ලංකාව හුරු නැති නිසා මට තමයි කරදරේ. ප්‍රශ්න අහනවා ඉවරයක් නෑ.
 මේ මාසේ අග එන්න වෙනවා වගේ. බලමුකෝ

බුදු සරණයි !

මීට 
නිමල්සිරි 
.................................................................................................

2017.01.15

දේශීය පුවත්

රුවන්වැලි මහාසෑයේ සෙනසුරාදා (14) පැවති පිංකමක් අතරතුර ඩ්‍රෝන කැමරාවක් සෑය මතට ඇද වැටේ.
--------------------------------------------------------
පෙරේදා (14) සවස ස්වර්ණමාලි සෑරදුන් අභියස පැවති කප්රුක් පූජා පිංකමේ දී අදාළ පූජාව වීඩියෝගත කිරීමට හා ඡායාරූප ගත කිරීමට අවසර ලබාගෙන ඇතත් ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කිරීමට අවසර ලබා ගෙන නැති බවත් වැඩි දුර පරීක්ෂණ වලින් හෙළිදරව් විය.

ඩ්‍රෝන කැමරාව ගුවන් ගත කළ අවස්ථාවේ එය රේඩියෝ සංඥාවලින් මිදී ගොස් ඓතිහාසික ස්වර්ණමාලි සෑරදුන්ගේ හතරැස් කොටුවේ ගැටී බිමට කඩා පතිත වී තිබේ. සෑ මළුවේ ආරක්ෂාවේ සිටි ‍පොලිස් නිලධාරියෙකු සෑය දෙසින් නිල් පැහැති ආලෝකයක් දිස් වී එක්වරම එය බිමට පතිත වන අයුරු දැක වහාම එම ස්ථානයට ගොස් බලද්දී සැකකරු එම කැමරාව ක්‍රියාත්මක කරන අයුරු දැක වහාම ඔහුව අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව විහාරාධිපති හිමිවරුන් වෙත දන්වා ඇති බවත් උන්වහන්සේලා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව සැකකරු උඩමළුව ‍පොලීසිය අත්අඩංගුවට ගෙන තිබූ බවත් වාර්තා වේ.
ඩ්‍රෝන කැමරාව එහි ගැටීමක් සිදුවුවත් සෑරදුන්ගේ හතරැස් කොටුවට කිසිදු හානියක් සිදුවී නැති බව සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයා තලවතුගොඩ ප්රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙක් වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
.................................................................................................

2017.01.17
jessica_mclarck88@yahoo.com 

දුවේ ජෙසිකා
සතුටුදායක ආරංචියක් ! ව්‍යාපෘතිය සාර්ථකව අවසන් විය. 
තව දින කිහිපයකින් මම ඔබ දෙදෙනා ළඟ.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !

මීට ආදර 
පැට්‍රික් මයිල්ස් ක්ලාර්ක්
.................................................................................................

2017.01.18
BBC සිංහල

'Voice Of America' ඉඩම යළි රජයට
-----------------------------------------------
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණවිල ප්‍රදේශයේ 'ඇමෙරිකානු හඬ' (Voice Of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩමේ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම රජයට පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

අදාළ බදු ගිවිසුම් කාලය අවසන් වීමට පෙර එම සම්ප්‍රේෂණාගාරය වසා දමා අදාළ ඉඩම මෙන්ම එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම් / දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපෙක්ෂා කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් දන්වනු ලැබ තිබූ බව අද (ජන. 18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණි.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment