ගින්නෙන් උපන් සීතල : රිදී තිරයෙන් උපදින රෝහණ විජේවීර


"රැජණට එරෙහිව කැරළි ගැසූ වරදට දඬුවම් ලැබූ දොන් නන්දසිරි විජේවීර ඇතුළු සිරකරුවන් නිදොස් කොට නිදහස් කරයි" එලෙස ආරම්භ වන්නේ ඉතිහාසය තුළ මිහිදන් නොවූ කතා පුවතකි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන් අලලා නිමවන 'ගින්නෙන් උපන් සීතල' සිනමා නිර්මාණය මේ වනවිට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දී තම රූ ගත කිරීම් අරඹා ඇත. රාජ කතා , ඉතිහාස කතා රැල්ලෙන් අවසඟ වූ නැවුම් සිනමාවක අවශ්‍යතාවය අබියස රෝහණ විජේවීරයන් ගේ චරිතය කෙතරම් දුරට සිනමාගෝචර වන්නේද ? අප විමසා සිටියේ රන්මිණිතැන්න සිනමා ගම්මානයේ අතොරක් නැති රාජකාරී සමඟ කාර්යබහුලව සිටින අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සහ සහය අධ්‍යක්ෂ සමීර හසුන් ගෙනි.

"ජනවාරි 22 වැනිදා චිත්‍රපටයේ රූ ගත කිරීම් ආරම්භ කළාට අපි පූර්ව නිෂ්පාදන කටයුතු වලට අවුරුදු දෙකක විතර කාලයක් වැය කළා. රෝහණ විජේවීර සහෝදරයා ජීවත් වුණු , සැඟවිලා හිටිය තැන් වලට ගියා. ඒ හැම ප්‍රදේශයක් ගැනම අධ්‍යයනය කළා. චිත්‍රාංගනී විජේවීර සහෝදරිය , ඒ කියන්නේ විජේවීර සහෝදරයගේ බිරිඳ හැරෙන්නට ලංකාවේ ජීවත් වෙන මේ සිදුවීම් මාලාවට අදාල අනිත් හැම කෙනෙක්ම වගේ මුණ ගැහුණා" අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ තම සිනමා නිර්මාණ මෙහෙයුම පිළිබඳව එලෙස අදහස් දැක්වීය. අපගේ කතා නායකයා වන විජේවීරයන්ගේ බිරිඳ චිත්‍රාංගනී ද මුණ ගැසෙන්නට ඔවුන් බොහෝ උත්සාහ කර තිබිණ. "චිත්‍රාංගනී සහෝදරිය මුණ ගැහෙන්න හැම විදියටම උත්සාහ කළා. ඒත් ඇයව සම්බන්ධ කරගන්න ලැබුණේම නැහැ. කොයිම වෙලාවක හරි ඒ සඳහා අවස්ථාවක් ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම ඇයව මුණ ගැහිලා ඇය සමග කතා බස් කරනවා" එසේ පැවසූ හාය අධ්‍යක්ෂ සමීර හසුන් මෙලෙස පසු වදනක් ද එක් කරන්නට අමතක නොකරයි "ඒත් අපිට සීයට සීයක්ම විශ්වාසයි 'ගින්නෙන් උපන් සීතල' නිර්මාණය හරහා චිත්‍රාංගනී සහෝදරියට සාධාරණය ඉටු වෙනවා. අනිවාර්යයෙන්ම ඇය මේ නිර්මාණය සමඟ එකඟ වෙනවා. ඒ බවට අපිට සැකයක් නැහැ" 

ඉතිහාස කතාවක් ප්‍රතිනිර්මාණය කිරීම අතිශය අසීරු අභියෝගයකි. එය මෑත ඉතිහාසය අළලා නිර්මාණය වන්නක් නම් ඒ අභියෝගාත්මක බව වඩාත් ප්‍රබලය. මන්ද යත් අදාල කාලවකවානුව සියැසින් දුටු , අත්විඳි , ඒ හා ගැටුණු පිරිස අදටත් ජීවතුන් අතර සිටින බැවිනි. 'රෝහණ විජේවීරයන නාමය නොදන්නා කෙනෙක් ලංකාවේ සිටින බව විශ්වාස කළ නොහැකිය. වඩාත්ම වැදගත් කරුණ වන්නේ විජේවීර සහ ඔහුගේ සගයින් ඇසින් දුටු පරම්පරාවක් අදටත් සක්‍රීයව සිටීමය. ඔවුන් සමග මේ සමස්ත සිද්ධි දාමය පුරා එක්ව රැඳී සිටි පිරිස අදටත් ජීවමානව සිටීමය. ඔවුන් අද වනවිට විවිධ සමාජයීය , දේශපාලනික ස්ථාවරයන්හි රැඳී සිටියද විජේවීර චරිතය නිර්මාණය කළ යුත්තේ ඒ මතකයන්ට සාධාරණයක් ඉටුවන ලෙසය. උක්ත අභියෝගය ජයගත් ආකාරය සමීර හසුන් මෙලෙස විස්තර කරයි. "මේ චිත්‍රපටයේ තිර පිටපත ලිව්වේ ආරියවංශ ධම්මගේ. චිත්‍රපටයට නම යෙදුවෙත් ඔහුම තමයි. ආරියවංශ ධම්මගේ සහ ජයසිරි ජයසේකර දෙන්නා තමයි තිරපිටපත සම්බන්ධ පූර්ව නිෂ්පාදන කටයුතු භාරව හිටියේ. රෝහණ විජේවීර සහෝදරයට සම්බන්ධ හැම කෙනෙක්ම මුණ ගැහිලා , ඉතිහාස මූලාශ්‍ර හොයාගෙන ගිහින් අදාල තොරතුරු එක් රැස් කරන්න ඔවුන් හුඟක් මහන්සි වුණා. 'ගින්නෙන් උපන් සීතල' හරහා කිසිම කෙනෙක්ට අගතියක් නොවෙන්නත් , පක්ෂග්‍රාහී නොවී නිර්මාණයක් කරන්නත් මේ දේවල් උපකාරී වුණා. " 



"කමල් අද්දරආරච්චි තමයි රෝහණ විජේවීර ගේ චරිතය කරන්නේ. අනෙක් හැම චරිතයකටම සැබෑ පුද්ගලයාට සමාන නළුවෙක්ව ගන්න අපි උත්සාහ කළා" නළුනිළි වරණය පිළිබඳ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහගේ අභිමතය එසේය. මේ නිර්මාණය වන්නේ දසක තුනකට මෙහා අතීතයක් නිසා සිනමාලෝලීන් කතාවට පමණක් නොව , චරිතයන්හි රූපකායන්ට ද සවිඥ්ඥානික ය. එය සුළුවෙන් තැකිය නොහැකිය. "උපතිස්ස ගමනායක චරිතයට ජගත් මනුවර්ණ , සෝමවංශ අමරසිංහ ගේ චරිතයට සුජීව ප්‍රියලාල් , ලයනල් බෝපගේ චරිතයට ප්‍රියන්ත සිරිකුමාර තෝර ගත්තා. චිත්‍රාංගනී විජේවීර විදියට සුලෝචනා වීරසිංහත් සිසිර රන්දෙණි හැටියට ජෙහාන් අප්පුහාමිත් රඟපානවා" එලෙස විස්තර අධ්‍යක්ෂවරයා පවසන්නේ සියලු දෙනාම පාහේ වේදිකා නළු නිළියන් බවයි. "කමල් අද්දර ආරච්චිට ,රෝහණ විජේවීර ගේ පෙනුම ලැබෙන්න කෘතිම දත් යොදන්න වුණා. ඒ විතරක් නෙමෙයි , අනිත් හැම චරිතයකම ඇවිදින විදිය , කතා බහ කරා විදිය , ඉරියව් ආදිය ගැනත් අපි සැලකිලිමත් වුණා" එය සැබවින්ම අභියෝගයකි. එම අභියෝගය සියයට සියක්ම ජය ගැනීම කළ හැක්කක්ද යන ප්‍රශ්නයට සහාය අධ්‍යක්ෂවරයා පිළිවදන් දෙයි. "සමහර චරිත තියනවා අද වෙනකොට ෆොටෝ එකක්වත් හොයා ගන්න බැරි. ඒ අයගේ නම විතරයි හැමෝටම මතක. ගුණරත්න වනසිංහ සහෝදරයා කියන්නේ ඒ වගේ කිසිම තොරතුරක් නැති චරිතයක්. ඉතින් ඒ වගේ වෙලාවට අපි කැමති නලුවෙක් යොදනවා ඇරෙන්න වෙන විසඳුමක් තිබුණේ නැහැ" සමීර හසුන් පවසන පරිදි අදටත් , රූ ගත කිරීම් මධ්‍යයේ පවා සමහර චරිත වල ඉරියව් , ගමන් විලාසය පිළිබඳව විවිධ ප්‍රතිචාර ,යෝජනා , මතවාද ඉදිරිපත් වේ. එම ප්‍රතිචාරම චරිතයේ සිනමා ගුණය වර්ධනය කිරීමට මහත් පිටිවහලක් ලෙස 'ගින්නෙන් උපන් සීතල'  සිනමා කණ්ඩායම විශ්වාස කරති. 

සැබෑ සිදුවීම් සහ චරිත අරභයා කෙරෙන නිර්මාණ වලදී සෑම නිර්මාණකරුවෙකු ඉදිරියේම අදිසි වැට කඩුල්ලක් නැගේ. ඇඩ්ලින් විතාරණ සිදුවීම ඇසුරින් වසන්ත ඔබේසේකරයන් කළ 'දඩබිම' සිනමා නිර්මාණය එකී කඩුල්ලෙන් මිදුණද, පසුකාලීනව නිව්ටන් ගුණසේකරයන් ලියන 'දඩ කෙළිය' නම් නවකතාවට එරෙහි වන්නේ ඇඩ්ලින් විතාරණගේම දියණියයි. මොහාන් නියාස් අධ්‍යක්ෂණය කිරීමට උත්සාහ කළ 'ගිණි සිළුව' නම් චිත්‍රපටය හරහා තම කීර්ති නාමයට හානිවන බවට නීති මාර්ගයට යන්නේ සුසන්තිකා ජයසිංහ යි. එයට අමතරව ප්‍රේමවතී මනම්පේරි සිදුවීම ඇසුරින් ධර්මසිරි වික්‍රමරත්න නිර්මාණය කරන්නට යෙදුණු 'නහී වේරෙන වේරානී'  චිත්‍රපටය සඳහා ද වෛද්‍ය මනෝරානී සරවනමුත්තු චරිතය ඇසුරින් නිලේන්ද්ර දේශප්රිය විසින් අධ්යක්ෂණ කළ 'They Dance Alone' සිනමා නිර්මාණය බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු 'සත් ඉම' සඳහා ද රූ ගත කිරීමේ අවසරය හිමි නොවිණ. එම චිත්රපට ත්‍රිත්වයෙහිම තේමාවන් සෘජුවම මෙරට ආරක්ෂක අංශ හා සම්බන්ධ වන බැවින් අදාල රූගත කිරීම් අවසරය හිමි නොවුණු බව සඳහන් වේ. රෝහණ විජේවීර සහ ජනතා විමුක්ති පෙරමුණ සහ කැරැල්ල අරභයා මෙවැනි වාතාවරණයක් උද්ගත නොවීද යන්න අධ්‍යක්ෂවරයාගෙන් විමසීම වැදගත් වේ. "ඇත්තටම අපි හිතුවටත් වඩා ඉක්මණට මේ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා අවසර ලැබුණා. ඒක ගැන විශේෂයෙන්ම කිව යුතුමයි.විජේවීර සහෝදරයා ගැන කරන නිර්මාණයකට කිසිම බලපෑමක් නැතිව අවසරය ලැබීම නිසාම නිර්මාණයක් කරන්න නිදහසක් තියෙන පරිසරයක් උදා වීම ගැන අපි සතුටු වෙනවා" ඒ සතුට නිර්මාණ කණ්ඩායමට පමණක් නොව සමස්ත සිනමා ක්ෂේත්‍රයටම ය. බලධාරීන්ගේ අවසරය ලැබීම පිළිබඳව තෘප්තිමත් වී මේ මාතෘකාවට නැවතීමේ තිත තබන්නට සිත් නොදේ. 'ගින්නෙන් උපන් සීතල' සම්බන්ධව රෝහණ විජේවීර සමග උරෙනුර ගැටී කටයුතු කළ දේශපාලනික සගයන්ගෙන් සහ විජේවීර අනුගාමිකයන්ගෙන් කෙබඳු ප්‍රතිචාර ලැබී ඇත්දැයි සහාය අධ්‍යක්ෂවරයාගෙන් විමසා බැලුවෙමු. අද දක්වාම කිසිදු දේශපාලනික ප්‍රවාහයකින් සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබී නැති බවත් කිසිදු ඇඟිලි ගැසීමක් හෝ විමසීමක් සිදු නොවූ බවත් හෙතෙම පවසයි. "විජේවීර අනුගාමිකයින් සහ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින් ගැන කියනවා නම් කතරගම ඉන්න නෙත්තිකුමාර මාතාව මතක් කරන්නම ඕනේ. විජේවීර සහෝදරයයි නෙත්තිකුමාර සහෝදරයයි කතරගම කැළේ හැංගිලා ඉන්නකොට බත් ඇදපු ඒ අම්මට දැන් වයස අනූවක් විතර. අපි විජේවීර සහෝදරයා ගැන චිත්‍රපටයක් කරනවා කිව්වම එයා මෙහෙම කිව්වා 'ඔය කොල්ලන්ට බත් ඇදලාමයි නාකි මම තිරිහං වුණේ. මගේ පුතා කවදා හරි බුදු වෙන්න ඕනේ' " නෙත්තිකුමාර මාතාව පමණක්ම නොව, රන්මිණිතැන්න සිනමා ගම්මානය අවට ගම්වාසීන්ද දිනපතා ස්වේච්ඡාවෙන්ම පැමිණ සමූහ දර්ශන වලට සතුටින් දායක වන්නේ රෝහණ විජේවීර පිළිබඳ වූ පහන් ආකල්පයකින් බව සමීර පවසයි

 පැලේ ලිපේ තැම්බෙයි අල කොළ මාලූ
 දොහේ දෙකේ ඒකත් නැතුවා යාලූ
 ගොයි ජනපදේ දුක කිසිවෙක් දැක නෑලූ
 දුටුවත් අනේ උන්ගේ ඇස් අඳ සේලූ

විප්ලවය පිළිබඳ මතක දිගහැරුමක් වේ නම් විමුක්ති ගී අමතක කර දමා , ඒ දෝංකාරයට පිටුපා ගමන් කිරීමට කිසිවෙක්ට හෝ නොහැකිය. 'ගින්නෙන් උපන් සීතල' සංගීතය නදීක ගුරුගේ ගෙනි. ඒ වෙනුවෙන්ම නිර්මාණය වන 'විමුක්ති ගී' සඳහා චන්ද්‍රකුමාර වික්‍රමරත්නයන්ගේ කවි පද ද උපයෝගී කරගෙන ඇත. විමුක්ති ගී පිළිබඳව දර්ශන වලදී සුනිලා අබේසේකර වැනි චරිත පිළිබඳව මතකය අවදි වුවද ගායන වෘන්දය පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා නොවෙන බව පැවසේ. 


කතා නායකයා රෝහණ විජේවීර ය. විටෙක ඔහු පූඬලුඔය ඩන්සිනන් වතුයායේ ලැගුම් ගෙන සිටි ව්‍යාපාරික එළියස් ප්‍රනාන්දු ය. තවත් විටෙක බෙරගලට නුදුරු වල්හපුතැන්න නිවසේ පදිංචි අත්තනායක නම් වූ මැණික් මුදලාලිය. උලපනේ ශාන්ත මේරි වතුයායේ පිහිටි බංගලාවේදී ඔහු අත්තනායක නම් වූ වැවිලිකරුවෙකි. දියණිවරු පහකගේ සහ පුතෙකුගේ පියෙකි. 1977 - 1989 දක්වා වූ කාල වකවානුව ඔස්සේ ගොඩ නැගෙන "ගින්නෙන් උපන් සීතල" මේ සියලුම අතීත සැමරුම් අත් නොහැර පැතිර යයි. "අපි මේ හැමතැනටම ගියා. ඩන්සිනන් බංගලාව හැර අනිත් බංගලා දෙකම රාජ සන්තක කරලා. දැන් ඒවා තරුණ සේවා සභාව යටතේ තියෙන්නේ. ඒවා රූගත කරන්න පුළුවන් මට්ටමක තිබුණේ නැහැ" එසේ අදහස් දක්වන සහාය අධ්‍යක්ෂවරයා පවසන්නේ අදාල පසුතල සඳහා අවට සීත කාලගුණයක් සහිත ප්‍රදේශ තෝරාගත් බවය. 

1943 ජූලි 14 මාතර කෝට්‌ටේගොඩදී පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ලෙසින් උපත ලැබූ ඔහු රටක් දැන හඳුනාගන්නේ රෝහණ විජේවීර ලෙසිනි. උලපනේ ශාන්ත මේරි වතුයායේ දී අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත විමලසිරි ලෙස අත් අඩංගුවට ගෙන 1989 නොවැම්බර් 13 වැනි දින බොරැල්ල සුසාන භූමියේදී ජීවිතයෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 46 කි. වසර විසි අටක් ගත වුණ ද රෝහණ විජේවීර යනු අමතක කළ නොහැකි මතකයකි. ඒ බව පවසන්නේ ගින්නෙන් උපන් සීතල ය. සැබැවින්ම ඔහු පිළිබඳව මතකය පවා ගින්නෙන් උපදිනා සීතලකි. අදටත් ඇඟේ හිරිගඩු පිපෙන තරම් සීතලකි. 


ලක්බිම | මංජුසාව | 2016 පෙබරවාරි 05 : 
http://www.lakbima.lk/oldpapers/daliylakbima/2017/February/last_05_02_17/manjusawa.pdf
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment