ඔලිම්පික් : නොසැලෙන සෙමෙන්යා කැස්ටර්


2016 රියෝ උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ 25 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාව සෙමෙන්යා කැස්ටර් ය. මෙවර දකුණු අප්‍රිකානු ජාතික වාර්තාවද බිඳ දැමූ ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ද රිදී පදක්කම හිමි කර ගත්තාය. මේ ඔලිම්පික් පදක්කම් ද්විත්වය පසුපස ඇති ඉරණම්සහගත ගමන්මග ලෝකයා අමතක කළ ද සෙමෙන්යා ට කිසිලෙසකත් අමතක නොවනු ඇත. එය අතිශයින්ම වේදනාකාරී මතකයකි.

ආන්දෝලනය ඇරඹෙන්නේ 2009 බර්ලින් ලෝක මළල ක්‍රීඩා උළෙලේ මීටර 800 ඉසව්ව එවකට 18 හැවිරිදි වූ සෙමෙන්යා විසින් දිනාගැනීමත් සමග ය. ඇගේ තරග නිමි කාලය සහ ප්‍රගතිය කෙරෙහි සැක උපදවා ගන්නා බලධාරීන් ඇයගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ කුහුල් වන්නේ පරීක්ෂණයක් පවත්වන්නට නියම කරති. එහි ප්‍රතිඵල කුමක්දැයි අදටත් අනාවරණ නොවූ අතර 2010 ජූලි මාසය වන තෙක් ඇයට තරග තහනමක් පනවා ඉන්පසුව නිදහස් කෙරිණි. ඇයගේ ජයග්‍රහණ කිසිවක් නිෂ්ප්‍රභා නොවීමෙන් සහ යළි තරග බිමට පැමිණීමෙන්ම ඒ ප්‍රතිඵලය කුමක්දැයි ඔබට තේරුම් ගත හැකිවිය යුතුය.

මේ පරීක්ෂණය වර්ගවාදී අරමුණුවලින් තොර වූ බවට නිල ප්‍රකාශයක් කරන්නට සිදුවන මට්ටමට අන්තර්ජාතික මළල ක්‍රීඩා සම්මේලනය ක්‍රීඩා ක්ෂේත්‍රයේ අප්‍රසාදයට ලක් විය. නමුත් වැදගත්ම දේ වන්නේ මේ සියලුම වියවුල් මැද දකුණු අප්‍රිකානු බලධාරීන් සහ රට වැසියන් තම ක්‍රීඩිකාව අත් නොහැර ඈ සමග සිටීමයි. සෙමෙන්යා ජාත්‍යන්තරය හමුවේ අතිශය පුද්ගලික කාරණා මත අපහසුතාවට ලක් වද්දී ඇය බේරා ගැනීමට අසමත් වීම පිළිබඳව සමාව ඉල්ලමින් ඇගේ පුහුණුකරු ඉල්ලා අස් විය. අවසානයේදී ඇය නැවතත් කරළියට පිවිසෙන්නීය. විචාරකයින් පවසන්නේ 2012 ඔලිම්පික් උළෙලේ ඇය හිතාමතාම රන් පදක්කම මගහැර රිදී පදක්කම තෝරා ගත් බවයි. ඇය අත් විඳි පීඩනය අනුව බලන කල ඒ පිළිබඳව පුදුම විය යුතු නැත. නමුත් 2016 දී සෙමෙන්යා තමාට අභියෝග කළ ලොවට රනින් අභියෝග කරන්නීය. " දෙවියන් මා මවා ඇත්තේ මෙලෙසය. මම එය භාර ගනිමි" සෙමෙන්යා පවසන්නීය.
දකුණු අප්‍රිකාවේ එසේ වද්දී ඉන්දියාවේ වන්නේ අනෙකකි. 2006 දෝහා ආසියාතික ක්‍රීඩා උළෙලේ මේ ඉසව්ව වෙනුවෙන් රන් පදක්කම දිනන්නේ සාන්ති සෞන්දරාජන් ය. ඉන්දීය මතයට අනුව ස්පර්ශ කිරීම පවා අකැප දාලිත් කුලයට අයත් සාන්තිගේ රන් පදක්කම දින තුනකින් ගැලවෙන්නේ ඇය කාන්තාවක් නොවේ යැයි චෝදනා නගමිනි. මේ කිසිවකට මැදිහත් නොවූ ඉන්දීය බලධාරීන් තම මව්බිම වෙනුවෙන් දමිළ ක්‍රීඩිකාවක් දිනූ පළමු ආසියානු පදක්කම ආපසු ගන්නට ඉඩහැර දෝහා සංචාරය අවසන් කළහ. එදා ආසියාව දිනූ සාන්ති සෞන්දරාජන් අද , තම ගම්මානයේ දිනකට ඉන්දීය රුපියල් දෙසියයේ කුලියට ගඩොල් කපන්නීය.
ලංකාව කියාද වෙනසක් නැත. අපට ඉන්නේ ක්‍රීඩකයින් නම දෙනෙකුට නිළධාරීන් හතළිහක් යනවිට ඇස් කණ පියාගෙන සිටිනා ඔලිම්පික් කමිටු සභාපති කෙනෙකි. සාග් උණුසුම යන්නටත් කලින් මව්බිම දිනූ පදක්කම් හෑල්ලු කරමින් වොයිස් කට් දෙන්නට ඉදිරියට පනින , නමුත් ඔලිම්පික් වන්දනාව දැක දැකම කටට ඉබි යතුරු ලා සිටින සභාපති කෙනෙකි. වෙර වීරියෙන් දුවන්නට එන ක්‍රීඩකයින්ට අවලාද නගන්නට විවර කරන කට අවශ්‍ය තැන් වලදී වසා සිටින සභාපතිවරයෙකි. ස්ත්‍රී පුරුෂ පරීක්ෂණ වලට ලක් කළ යුත්තේත් , දවසේ කුලියට ගඩොල් කපන්නට යැවිය යුත්තේත් සෙමෙන්යා , සාන්තී ලා නොව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ව ය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment