මුත්තයියා මුරලිදරන් වෙත සිංහලෙන් ලියමි


ඔබ ,සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු ලෙස සේවය කිරීමට ගත් තීරණය සමග ක්‍රීඩාවේ සදාචාරය සහ ශ්‍රී ලාංකිකත්වය පිළිබඳව හා හූවක් පැණ නැගී ඇත. ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සදාචාරය සෙවීමට වඩා නුවර වැවට වැටුණු පිං පොං බෝලයක් සෙවීම ඉතාමත් පහසු බැවින් ඒ පිළිබඳව කතා නොකරමි. ඕස්ට්‍රේලියාව පුහුණු කිරීම තුළින් මෙරටේ අභිමානය ට කැළලක් ඇතිවන්නේ යැයි කණින් කොණින් ඇසුණු බැවින් මෙවදන් පවසනු කැමැත්තෙමි.

තිලකා ජිනදාස යනු මළල ක්‍රීඩා සහ දැල්පන්දු යන ක්‍රීඩා දෙකෙන්ම ලංකා නාමය බැබලවූ ක්‍රීඩිකාවකි. 1988 සෝල් ඔලිම්පික් උළෙලේ මීටර 100 කඩුළු පැන දිවීම ඉසව්වට එක්වෙමින් මෙරට පළමු ඔලිම්පික් ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් අයෙකු ලෙස ඉතිහාසගත වන ඈ 1993 ආසියානු දැල්පන්දු සූරතාවලියේ තෙවැනි තැන දිනූ ලංකා කණ්ඩායමේ සාමාජිකාවක්ද වන්නීය. 2009 වසරෙන් පසු ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු සූරතාවයක් දිනා නැති අතර එම අවසන් ජයග්‍රාහී තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ද මේ තිලකා ජිනදාසම ය.නමුත් ඉන්පසුව ලංකාවට උවමනා නොවන ඇය අදවන විට බෘනායි කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස සේවයේ යෙදෙන අතර තිලකා ජිනදාස ශ්‍රී ලංකාවට සේවය දැක්වීමට ඉදිරිපත්වන සෑම අවස්ථාවකදීම එය වැළැක්වීමට මෙරට බලධාරීන් කටයුතු කළහ.

ආදරණීය මුරලි , දැල්පන්දු යනු ක්‍රිකට් මෙන් සල්ලි ගලන ක්‍රීඩාවක් නොවන බැවින් මෙන්ම බෘනායි යනු තවමත් ශ්‍රී ලංකාව ඉක්මවා නොයන රටක් වන බැවින් තිලකා ජිනදාස විෂයෙහි අපේකම සහ ක්‍රීඩා සදාචාරය පැන නැගුණේම නැත. ඉදිරියටත් එසේ වනු ඇත.

පුෂ්පමාලි රාමනායක යනු ශ්‍රී ලංකා වෙඩි තැබීම ඉසව්වේ ස්වර්ණමය යුගය සලකුණු කළ ක්‍රීඩිකාවකි. 1994 වික්ටෝරියා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වායු රයිෆල් - යුගල ඉසව්වේ රන් පදක්කම මාලිනී වික්‍රමසිංහ සමග ගෙන ආවේ පුෂ්පමාලි ය. අඩුම තරමින් සුසන්තිකා ජයසිංහ පවා පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් දිනා නැත. 1992,1996 සහ 2004 ඔලිම්පික් උළෙල වෙනුවෙන් තරග වැදුණු පුෂ්පමාලි මේ වන විට සිටින්නේ කොන්ද ආශ්‍රිත රෝගී තත්ත්වයක ය. එයට හේතුව වී ඇත්තේ දසක ගණනක් එක දිගට අසීරු ඉරියවු වලින් කරන ලද දුෂ්කර පුහුණුවීම් ය.


හිතවත් මුරලි , ඔබ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනනන්නටත් පෙර පොදුරාජ්‍ය මණ්ඩල රන් පදක්කම් ගෙන ආ ක්‍රීඩිකාවකගේ ඉරණම එසේ ය. අද උපයාගත් දෙයක් නොවුණහොත් , ක්‍රීඩා බලධාරීන් සහ දේශපාලකයින් දොඩවන ජාතිකත්වය සහ අපේකම ඩිස්පැන්සරියකට දී පැනඩෝල් කාර්ඩ් එකක්වත් ගන්නට බැරි බව පසක් කර දෙන්නේ රෝගී බවට පත් වූ පුෂ්පමාලීය.

ඉදින් , අවසාන වශයෙන් මෙසේ කියමි. ඩැරල් හෙයාර්ගේ හෝ ෂේන් වෝන්ගේ හෝ රොස් එමර්සන්ගේ රට වන නිසාම ඕස්ට්‍රේලියාව පුහුණු කිරීම අසික්කිත වැඩක් යැයි කාට හෝ හිතෙන්නට පුළුවන. මා මෙය පවසන්නේ ඔබේ දැනුමටම පමණි.

මෙහි අලවා ඇති ඔස්ට්‍රේලියානු රජයේ නිවේදනය අදාල වන්නේ නෙදර්ලන්තයට හෝ නෝර්වේ රාජ්‍යයට නොවන අතර ලංකාව සහ ඉන්දියාව වැනි රටවලට ය. මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසනවා යැයි චෝදනා කළ දිනයේ සිට අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩුවූ බවක් ඕස්ට්‍රේලියාව පවසා නැත. ඕස්ට්‍රේලියානු සරසවි වලින් ශ්‍රී ලාංකික සිසුන් ඉල්ලා අස් වූ බව හෝ එරට රැකියා සහ පුරවැසි භාවය අතහැර දමා ආපසු පැමිණි එකෙකු පිළිබඳව සටහනකුදු නොමැත. අදටත් ඕස්ට්‍රෙලියාව යනු බොහෝ ලාංකිකයන්ගේ උටෝපියාවක් වන අතර එහි වැරැද්දක් ඇත්තේද නැත. නමුත් ශ්‍රී ලාංකිකත්වය සහ අපේකම යන වචන අදාල වන්නේ අනුන් විවේචනය කරන විටදී පමණක් බවටත් භාෂිතය සහ භාවිතය යනු වෙනස්ම කතන්දර දෙකක් බවට මෙයට වඩා නිදසුන් උවමනා ද නැත.

සැවොම තනිවම බුදුවෙන්නට පෙරුම් පුරන රටක ඔබ පමණක් පස්වග තවුසන් ද සමග බැච් එකක් පිටින් බුදු විය යුතුයැයි යමෙක් සිතනවා විය හැකිය. නමුත් එය ද අදාලම නැත.

2016 ජූලි 28



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment