සඟවන්න එපා හසරැල්


ප්‍රේමයට නිශ්චිත හැඩයක් නැතැයි මා වටහා ගත්තේ ද තවමත් වටහා ගනිමින් සිටින්නේද ඔබ කෙරෙනි. මහට ප්‍රේමය මහමෙරකි. සිහිනයකට හෝ අවසර නොමදෙන ඇහි පිහාටු වලට පෙමින් වෙළෙන්නට ඉසිඹු නොදෙන මහමෙරක් වන් ප්‍රේමයට මගේ ලෝකයේ ඉඩ හසර මදිදෝ මා බියෙන් පසුවෙමි. නමුත් ප්‍රේමය ඔබට සැහැල්ලු පුළුන් රොදකි. සාක්කුවක බහාලමින් සුළං තිබෙන තැනකදී ඉවතට ගෙන අසිරිය විඳින ප්‍රේමයේ පුළුන් රොද ඔබට සැනසීමක් ගෙන දෙන බව ද මා දනිමි. වැසි දියට තෙමෙන්නට නොම දී සැඩ සුළං වලට ගසා යන්නට නොම දී ඔබ එය සුරකින්නෙහිය. ඒ බවත් මා දනිමි.

වරෙක ඔබත් මමත් දෑල දෙපස ප්‍රේමයේ ප්‍රෙහේලිකා අතැතිව සිටින්නෙමු. කළු කොටු නොමැති සංකීර්ණ ප්‍රෙහේලිකාව මා අතය. ඒ බව නොදත් ඔබඋපකාරක සහිත ඔබගේ ප්‍රෙහේලිකාව විසඳා ලවැලි තලාවෙන් නැගිට අවසන්ය. තවත් වරෙක ප්‍රේමයේ මායා බෝංචි වැල අප සමීපයෙහි වේ. ඔබ මහත් උද්දාමයෙන් පියවර තබමින් එහි ඉහළට නගී. දෙකම්මුල් සිඹින වළාකුළු දැක පහළ සිටින මට ද ඉහළ නගින්නට කෑ ගසයි. ඔබේ හඬින් මායා බෝංචි වැල මුදුනේ සිටින යෝධයා අවදි වූ බව මා දන්නේ මැදක් දුර ආ පසුය. කරුණාකර මා තනිකර පොළොවට නොයන්න. බෝංචි වැල කපන්නට පොරොව නොසොයන්න. මා තවමත් ඔබ නවතා ආ තැන සිටින්නෙමි. යෝධයා නැසීමට ඇවැසි නැතැයි මා පවසමි. මට ඇවැසි වන්නේ ඔබ ගේ සුරත මා වෙනුවෙන් දිගු වනවා දැකීම පමණමය.

ඔබේ සිනාව ම ජීවිතය කර ගත් අයෙක් මෙලොව වෙසෙන බව අමතක කිරීමට තරම් අකාරුණික නොවන්න. ඒ සිනහව අසල ජීවිතයක් පණ ගසා එන බව දැක දැකත් සිනහ නොවී සිටීමට හේතු නොසොයන්න. 

මන්ද ඔබට එය හුදු සිනහවක් පමණි. නමුත් එය වෙනකෙකුගේ ජීවිතයම වී ඇති බැවිනි.

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් 

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සිළිසිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

ගායනය     :  කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : විපුල ධර්මප්‍රිය ජයසේකර
සංගීතය     :  එච් එම් ජයවර්ධන



Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment