අපි නොදන්න ජූලියන් බෝලිං සහ දීපිකා චන්මුගම්


එදා , 1991 කොළඹ සාෆ් ක්‍රීඩා උළෙල නිමවූයේ ලාංකීය පිහිණුම් සූර ජූලියන් බෝලිං සහ දීපිකා චන්මුගම් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස අබිසෙස් ලබමිනි. වසර 25ක් ගත වන තැන අද පවා ඔවුන්ගේ නම් වරින් වර සිහිපත් වන්නේ එදා ඔවුන් දැක්වූ විශිෂ්ට දස්කම් නිසාම ය.මේ සිහි කැඳවුම ඔවුනට උපහාර පිණිස සහ ඉතිහාසයේ ඔවුනට වෙන් කළ ඉඩකඩ අතිශය සාධාරණ බව පැවසීමට ය.

කතාව ඇරඹෙන්නේ කර්නල් එෆ්. සී. ද සේරම් නම් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයාගෙනි. හෙතෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පමණක් නොව දසකයකට ආසන්න කාලයක් ජාතික ටෙනිස් සූරතාව සහ අනු සූරතාව දිනූ අයෙකි. 1971 වසරේ කොලරාඩෝහි පැවති ලෝක ගොල්ෆ් සූරතාව වෙනුවෙන් ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු විවාහ වී සිටියේ ස්ටැන්ලි ඔබේසේකරයන්ගේ දියණිය වූ නෙඩ්‍රා ඔබේසේකර සමග ය. පසුකාලීනව ලලිත් ඇතුලත්මුදලි සමග විවාහ වූ ශ්‍රීමනී ද සේරම් අයත්වන්නේ ද මේ සේරම් පරපුරටම ය.
සේරම් සහ නෙඩ්‍රා යුවළ ට දියණියන් දෙදෙනෙකි. ටාරා සහ ඕෂා යනු ඔවුන්ය.
පිහිණුම් ඉසවුවෙන් ලංකා සූරියකව සිටි ටාරා ද සේරම් 1958 ටෝකියෝ ආසියාතික තරගාවලිය වෙනුවෙන් ලංකාව නියෝජනය කළාය. ඇය විවාහ වන්නේ සාන්ත ජෝසප් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වැවිලිකරුවෙකු වන රැල්ෆ් බෝලිං සමග ය.ඔවුන් ගේ පුතුන් තිදෙනා , ඩේවිඩ් , ජෙරමි සහ ජූලියන් 1979 වසරේ ඉන්දු-ලංකා-බංග්ලාදේශ් තුන්කොන් පිහිණුම් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළහ.
1984-ලොස් ඇන්ජලීස්,1988-සෝල් සහ 1992-බාර්සිලෝනා ඔලිම්පික් උළෙල 3 දී ලංකාව නියෝජනය කළ ජූලියන් බෝලිං 1982-දිල්ලි සහ 1986-සෝල් ආසියානු තරග සඳහා ද සහභාගී විය. 1984-කත්මණ්ඩු ,1987-කල්කටා ,1989-ඉස්ලාමාබාද් සහ 1991-කොළඹ යන සාග් ක්‍රීඩා උළෙල 4 ක දී ලංකාව වෙනුවෙන් තරග වැදුණු බෝලිං දිනූ සමස්ත දකුණු ආසියාතික රන් පදක්කම් සංඛ්‍යාව 15 කි.ඔහු 1991 කොළඹ තරගාවලියේ දී පමණක් රන් පදක්කම් 6 ක් රිදී සහ ලෝකඩ පදක්කම් 1 බැගින් දිනා ගැනීමට සමත් විය.
ඕෂා ද සේරම් ද ජාතික පිහිණුම් සූරියකි. එපමණක් ද නොව ටෙනිස් ක්‍රීඩාවෙන් ද ජාතික සූරතාව දිනා ඇත. ඇය විවාහ වන්නේ ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතම තුන් ඉරියවු ක්‍රීඩකයකු වූ නීල් චන්මුගම් සමග ය. ඇයගේ දියණියන් දෙදෙනා වූ අනූක් චන්මුගම් සහ දීපිකා චන්මුගම් යන දෙදෙනාම පාසල් මට්ටමේ සිටම පිහිණුම් ජාතික සූරියන් වූ අතර පුතු වූ ඩෙවින් චන්මුගම් ද පිහිණුම් සූරයෙකි.
16 හැවිරිදි දීපිකා චන්මුගම් 1988 සෝල් ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජනය තිලකා ජිනදාස සමගින්(මීටර 100 කඩුළු) සනිටුහන් කරමිනි. 1989 ජපානයේ පැවති ආසියානු පිහිණුම් තරගාවලියට ද සහභාගි වන ඇය 1991 දී ඇමරිකාවේ සිට ලංකාවට පැමිණෙන්නේ සාෆ් තරගයට සති දෙකකට පෙර ය. දීපිකා එයින් නික්ම යන්නේ රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගනිමි.ඇයට රිදී පදක්කම් හිමි වන්නේ 100x4 සහාය පිහිණුම් ඉසවුවට සහ මීටර 100 කේවල මෙඩ්ලි ඉසවුවට පමණි. දීපිකා චන්මුගම් අද වන විට ඇමරිකානු අලෙවිකරණ සමාගමක උප සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය.
දීපිකා ගේ වැඩිමල් සහෝදරිය වන අනූක් චන්මුගම් පිහිණුම් තටාකයට සමුදුන්න ද ඇය තවමත් ජාතික මට්ටමේ ගොල්ෆ් සූරියකි. අනූක් විවාහ වී සිටින්නේ සාල් චිට්ටි සමග වන අතර සාල් චිට්ටි යනු 1988- සෝල් ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීම් මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයාය.
මේ අප දන්නා ජුලියන් බෝලිං සහ දීපිකා චන්මුගම් මෙන්ම අප නොදන්නා ජුලියන් බෝලිං සහ දීපිකා චන්මුගම් ය.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. ඇත්තෙන්ම මේ අප නොදන්නා ජුලියන් බෝලිං ,දීපිකා ෂන්මුගම් හා දන්නා ජුලියන් බෝලිං සහ දීපිකා ෂන්මුගම් ගැනයි..
    ස්තුතියි තොරතුරු ගෙනාවට

    ReplyDelete