දේශප්‍රේමීත්වය සහ එටිසලාට් සිම් සමග අපි


" රටකරවන්න නම් මසුරන් ඇතිව කැටේ
  වටිනා කියන දේ විකිණිය යුතුය රටේ "

මේ ගී පද දෙක යළිත් කරළියට එන්නේ 1997 කාලයේ එප්පාවල පොස්පේට් නිධිය ඇමරිකානු සමාගමකට පැවරීමත් සමග ය. අවසාන ප්‍රතිඵලය කුමක්දැයි දැන ගැනීමට නම් "බුලන්කුලම හා තවත් හයකට එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් හත්දෙනෙක්" නඩු තීන්දුව කියවා බලන්න.


රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැඩ අරඹන්නේ 2000 වසර වන විට ය. ඉනාමළුවේ සුමංගල හිමියන් ඇතුළු පිරිසක් ඒ පිළිබඳ විරෝධය දක්වන්නේ සංචාරකයින්ගේ පැමිණීම සහ දඹුළු ශුද්ධ භූමිය කෙළෙසීමක් ගැන ය. පූජා භූමියෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉඩම් බදු දුන් හේතුව ඒ විරෝධතා වලදී මතක් කළේම නැත.
ඉනාමලුවේ සුමංගල හිමියන් කරළියට බසින්නේ ඊටත් කලින් ය. 1991 කාලයේ කණ්ඩලම වැව් තාවුල්ලේ හෝටලයක් ඉදි කරනවායැයි මහත් කලබගෑනියක් ඇති කරමින් යකා නැටූ කණ්ඩලම වම් ඇල ගොවි සංවිධානයේ ලේකම් වරයා ද උන්වහන්සේ ය. අද වන විට කණ්ඩලම හෝටලය හෙරිටන්ස් කණ්ඩලම වී යහතින් , ගමට කරදරයකින් තොරව පවතී. ඉනාමළුවේ හිමි නම් තවමත් නානාවිධ මාතෘකා යටතේ මහජනයා සමග විරෝධතා සංවිධානය කරමින් සිවුපසයෙන් වැඩ වසයි.
එකල කණ්ඩලම හෝටලයට විරෝධය පා එතැන මහපාරේ බිම වාඩි වී සිටි අය අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නම් වූ තරුණ මන්ත්‍රීවරයෙක් ද විය. පසුකාලයක රතුපස්වල "විනිග්‍රෝ" නම් වූ රබර් කර්මාන්තශාලාවකින් පානීය ජලයට සිදු වන හානිය පිළිබඳව ගම්මුන් මහපාරට බැස විරෝධය පල කළහ. එකල මෙසිරිලක ජනපතිවරයා වූයේ එදා වැව් තාවල්ලකට උඩින් හදන හෝටලයක් ඉදිරිපස වාඩිගෙන විරෝධතා පළ කළ මහින්ද රාජපක්ෂ මය. පානීය ජලය වෙනුවෙන් පාරට බට රතුපස්වල වැසියන්ට ජීව උණ්ඩ වලින්ම සංග්‍රහ හිමි වූ අතර නිරායුධ වැසියන්ට වෙඩි තබා මරන්නට අණ දුන්නේ කවුදැයි කියා අදටත් රටේ හිටපු පාලකයා නොදනී.


පොස්පේට් නිධිය යහතින් ය. කණ්ඩලම හෝටලයත් දඹුල්ල ක්‍රීඩාංගනයත් එලෙසම ය. ඉනාමළුවේ සුමංගල ලා ද මහින්ද රාජපක්ෂ ලා ද තවමත් යෙහෙන් වැජඹෙන අතර රතුපස්වල මිය ගිය වුන්ට වෙඩි තැබූවෙක් ද සොයා ගැනීමට නැත.

අලුතෙන් මිලදී ගෙන සිම් කැඩීමට කලබල නොවන්න. 
වල් දෙල් කොළ උඩට බෙලි ගෙඩි දමා කැළේ සතුන් බය කරන මැකියාවලි ලා සිටින රටකි මේ.

2016 ඔක්තෝබර් 26
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment