ඔලිම්පික් : ඉතියෝපියානු විරෝධය සහ රිදී පදක්කම


2016 රියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වේ දී කෙන්යානු ක්‍රීඩකයාට පසු පසින් පැමිණි ෆෙයිසා ලිලේසා රිදී පදක්කමට උරුම කම් කියන්නේය. අවසාන මීටර කිහිපයේදී ජයග්‍රාහී සංඥාවක් හෝ ප්‍රීතිදායක ඉරියව්වක් පළ කරනු වෙනුවට ඔහු මුහුණට ඉදිරියෙන් දෙඅත් හරහට තබන්නේ සාමකාමී ව තරගය නිම කරයි. ඒ සංඥාව කිසිවෙකුට නොවැටහුණද ඉතියෝපියානු බලධාරීන් ගේ සහ එරට වගකිවයුත්තන්ගේ ඉහ මොළ දවනා එකක් වනු නිසැකය.මන්ද යත් ෆෙයිසා ලිලේසා යනු උපතින් ඔරෝමෝ ගෝත්‍රිකයෙක් වන බැවිනි. ඉදින් මේ රිදී පදක්කම් ලාභී ඔරෝමෝ පුත්‍රයා දෙ අත් හරස් කරමින් විරෝධය පළ කරන කල්හි ඔවුනට මරා දැමූ 400 කට අධික ඔරෝමෝ උද්ඝෝෂකයින් සිහිපත් වනු වැළකිය හැකිද ?

එය ඇරඹෙන්නේ "අඩිස් අබාබා සමෝධායන සැලසුම" සමගය. මිලියන හතරකට අධික ජනගහණයකින් යුතු එ අගනුවර ව්‍යාප්තීකරණයට ලක් කිරීමට පිඹුරුපත් සැකසෙන්නේ අසල්වාසී ඔරෝමෝ ජනපදයන් ද ඊට ඈඳා ගනිමිනි. මෙයට එරෙහිව නැගී සිටින ඔරෝමෝ ගෝත්‍රිකයන් පවසන්නේ නාගරීකරණයේ නාමයෙන් තම ගෝත්‍රයේ කෘෂිකාර්මික දිවිපෙවෙත විනාශ වී යන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔරෝමෝ සංස්කෘතියේ ගලා යෑම දුෂ්කර වන බවයි. අවසානයේ දී සිදුවන්නේ දහස් සංඛ්‍යාත ඔරෝමෝ වැසියන් වීදි බැස උද්ඝෝෂණයේ යෙදීමත් රජයේ හමුදා මගින් හිත් පිත් රහිත ප්‍රහාරයක් එල්ල වීමත් ය. මානව හිමිකම් නිරීක්ෂකයින් පවසන අන්දමට ජීවිත හානි 400 ට අධිකය. ඉන් ද බහුතරය වයස අවුරුදු 18 ට වඩා අඩු බවත් තවත් දහස් සංඛ්‍යාත ඔරෝමෝ උද්ඝෝෂකයින් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් පවසති. නමුත් ඉතියෝපියානු රජය මේ සංඛ්‍යා ලේඛන සමග එකඟ වන්නේ නැත. නමුත් සංහාරයක් සිදු වූ බව වසන් කරන්නට එය ප්‍රමාණවත් වන්නේද නැත.


ෆෙයිස් ලිලේසා දැන් පවසන්නේ තමාට මව් රට කරා යාමට නොහැකි බවයි. තමා මරා නොදැමුවහොත් අඩුම තරමින් සිරගත කරනු ඇතැයි පවසන ඔහු වෙනත් රටක දේශපාලන රැකවරණ පැතීමට බලාපොරොත්තු වේ. නුදුරු අනාගතයේදී ෆෙයිස් ලිලේසා ජාත්‍යන්තරය ඉදිරියේ මව්බිම පාවා දුන් දේශද්‍රෝහියෙක් යැයි ඉතියෝපියාව පැවසීමට ඉඩ ඇත. මේ විරෝධතාව හුදෙක්ම බටහිර රටක සරණ පැතීම පිණිසම බව තවත් කෙනෙක් චෝදනා නගන්නට ද පුළුවන. ප්‍රේමදාස ගේ කාලයේ ජිනීවා යන තරුණයා වීරයෙක් වීමටත් ඒ තරුණයාගේ පාලන කාලයේ ජිනීවා යන කාන්තාව දේශද්‍රෝහී වෙසඟනක වීමටත් ඉඩ ඇති රටක අපිට මේවා අනුමාන කිරීම සුළු දෙයකි. නීත්‍යානුකූල විරෝධතාවන්හි යෙදෙන පුරවැසියන් රටේ නීතියට අනුගතව කටයුතු කරද්දී අධිකරණයට බලහත්කාරයෙන් කඩා පනින චීවරධාරීන් වෙසෙන රටක අපිට අයර්ලන්ත වෙරළ වාසීන්ට මෙන් ඉදිරිය දැකීමේ හැකියාවක් ඇත.


ෆෙයිස් ලිලේසා. තම ප්‍රජාව වෙනුවෙන් නිබයව ඔබ පළ කළ විරෝධතාව අගයමු. තවමත් මව්බිමේ වෙසෙන බිරිඳට සහ දරුවාට ඔබ සිටිනා තැනකට නිරුපද්‍රිතව පැමිණීමට ලැබේවායැයි ප්‍රාර්ථනා කරමි. එතෙක් ඔවුන් ආරක්ෂා විය යුත්තේ ඉතියෝපියානු රජයෙන් යැයි නොසිතන්න. මව්බිමේ නාමයෙන් මරාගෙන මැරෙන්නට දත කන පූජ්‍ය පක්ෂය ඉතියෝපියාවේද වේ නම් තම සුතඹුවන් ඔවුන්ගෙන් ප්‍රවේශම් කරගන්න
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment