රූපා රත්නසීලී සහ පාරිශුද්ධ පේරාදෙණිය


2016 ජූලි 12 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර වලෙහි රංගගත වූ "දුටුතැන අල්ලනු" වේදිකා නාට්‍යයේ එන සිප ගැනීමේ දර්ශනයක් අරභයා විශ්ව විද්‍යාල උප සංස්කෘතිය විසින් හූ තබා සෙරප්පු වලින් දමා ගසා සහ කා අවසන් බඩ ඉරිඟු දඬු වලින් දමා ගසති.
---------------------------------------------------------------------------------------------------------------------------


1960 දී තිරගත කළ "නළඟන" යනු ලංකාවේ රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කළ පළමු සිංහල චිත්‍රපටයයි. එහි ප්‍රේමාගේ චරිතයට පණපොවන රුක්මණී දේවී ගේ ජීන්ස් කලිසම් විලාසිතා නිසා ලාංකික කාන්තාවට සහ සංස්කෘතියට සිදුවන හානිය පිළිබඳ හඬනගන්නේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ය. පේරාදෙණි නවකතාව "මනස්‌ පුතුන්ගේ" සාහිත්‍යයක්‌ ලෙස හඳුන්වන හෙතෙම 'සිංහල නවකතාව සහ ජපන් කාම කතා හෙවණැල්ල " නම් වූ කෘතියේ ඒ පිළිබඳව පවසන්නේ මෙසේය "ඔවුන්ට උචිත සමාජ පරිසරයක්‌ ලංකාවේ නැති නිසා ලේඛකයෝ ඒ පරිසරය පේරාදෙණි විශ්වවිද්‍යාලයෙහිත් මුඩුක්‌කුවලත් මවන්නට වෑයම් කරති". රුක්මණී දේවියගේ ජීන්ස් කලිසමින් ලංකාවේ සංස්කෘතිය බේරාගන්නට උත්සාහ කළ මාර්ටින් වික්‍රමසිංහයන් පේරාදෙණිය සාහිත්‍යය දුටුවේ එලෙසය.

1961 සැප්තැම්බර් මාසයේදි පේරාදෙණිය විශ්වවිද්‍යාලීය එළිමහන් රඟමඩල හෙවත් "වළ" තුළ මංගල දර්ශනය අරඹන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" ය. බටහිර කොපිකාරක කලාවක් ලෙස වික්‍රමසිංහයන්ගෙන් නිර්දය විචාරයට ලක්වන පේරාදෙණිය සාහිත්‍යයේ මුල්ගමන් කරුවෙක් වන්නේ ද ඔහුමය. "සිංහබාහු" යනු සිරිත්මල්දම ඇසුරින් තැනූ උපදේශක නාට්‍යක් නොවූ අතර සිංහයෙකු සමග සහවාසයෙන් දරුවන් දෙදෙනෙක් වදන මිනිස් දියණියක සම්බන්ධ කතාවකි. සහමෘග සංවාසය යනුවෙන් විතර කෙරෙන මේ අස්වාභාවික ලිංගික හැසිරීම, ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 305 වැනි වගන්තිය යටතේ අවුරුදු දහයක් දක්වා වන සිර දඬුවමක් ලැබිය හැකි අපරාධයකි. අවසානය ද ඊට දෙවැනි නැත. "තැන් තැන්වලම ලැගි සන්නන් මුවන් රැළ ගන්මින් බුදින්නට රස බොජුනා - වන් නෙත් අඳුන් බඳු දූ පුත් රුවන් කැළ මන් සන්තොසින් වළඳමි සමගින්" යැයි කියූ සිංහ පියාණන්ව විද මරන්නේ පුතු සිංහබාහු විසින්මයැ.


2016 ජූලි මාසයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය එළිමහන් රඟමඩල හෙවත් "මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ" රඟගත වන නාට්‍යයකි. කෞෂල්‍යා ප්‍රනාන්දුගේ "දුටුතැන අල්ලනු" නම් වූ එම නාට්‍යයේ තොල් සිප ගැනීමේ දර්ශනයක් දකින පේරාදෙණිය සුචරිතවාදී නාට්‍යලෝලීහු බඩඉරිඟු වහලු වලින් සහ සෙරෙප්පු වලින් පහර දෙති. රුපියල් පණහේ ප්‍රවේශ පත්‍රයක් ගෙන රුපියල් දහසේ ආසනයක වැඩ හුන් සුපේශල භික්ෂුවක් "මේක ශුද්ධ භූමියක් යැයි" මරහඬ දෙයි. "සිංහබාහු" කළ එළි දුටු "පේරාදෙණිය වළ" තොල් සිප ගැනීමේ නාට්‍යමය දර්ශනයකින් බඩ ගැබ්බර වේ යැයි සිතන මේ අලුත් කලා පොලිසිය "දුටු තැන අල්ලනු" කඩාකප්පල් කරති. හූ කියමින් ගෝත්‍රික සතුටක් විඳිති.

සැබවින්ම "පේරාදෙණිය වළ" පමණක් ශුද්ධ භූමියක් වන්නේ කෙසේද ? උගතමනා ශිල්පය දෙන සරසවිය තව දුරටත් ශුද්ධ භූමියක් නොවන නිසා තණපිඩැලි වලින් වටවූ බිම්කඩක් මනෝරාජික ශුද්ධභූමියක් කරගත්තා ද ? මදකට විමසා බලමු ...

1975 දී පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ සිටි රූපා රත්නසීලී නවකවධය ඉවසා දරාගත නොහැකිව රාමනාදන් නේවාසිකාගාරයෙන් බිමට පනින්නේ ශුද්ධ භූමිය සිප ගැනිමේ ඒකායන අරමුණෙනි .1993 දී රුහුණු සරසවියේ චමින්ද පුංචිහේවා සහ 1997 දී පේරාදෙණිය ඉංජිනේරු පීඨ සිසු S වරප්‍රගාශ් නවක වදය හේතුවෙන් මියයන්නේ ශුද්ධ භූමියේ කිල්ලට හසුවීමෙනි. නවක වධයත් සමග නොමිලයේ ලැබුණු ලිංගික හිංසාවන් ඉවසා දරා ගත නොහැකි වූ රුහුණු සරසවියේ පළමු වසර සිසුවියක් 1997 දී දිවිනසා ගන්නේත් නවක වධ විරෝධියෙකු වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමන්ත විතානගේ 2002 වසරේ දී සරසවිය තුළදීම මරා දැමෙන්නේත් ශුද්ධ භූමියේ මහිම කියා පෑමටය. නවක වධය නිසා සරසවිය හැරගිය සිසුවෙක් 2014 දී පේරාදෙණිය සරසවි පරිශ්‍රය තුළම සිය දිවි නසා ගන්නේද නවක වධය නිසාම සබරගමුව සරසවියේ අමාලි චතුරිකා 2015 දී දිවි නසා ගන්නේද ශුද්ධ භූමියේ අසිරිය දැක සිහිවිකල් වූ නිසාය. වෙනකක් තබා 2006 දී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උප කුලපතිවරයා වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාරයන් තම තනතුරෙන් ඉල්ලා අස්වන්නේද මේ ශුද්ධ භූමියේ පාරිශුද්ධ බව බලා සිටිය නොහැකි තැනය.

නමුත් මේ කිසිදු අවස්ථාවකදී සිසුන් හූ කියා, බඩ ඉරිඟු වහලු වලින් ගසමින් විරෝධය පෑ බවක් වත්, සිවුරු කරේ ලාගත් භික්ෂූන් මරහඬ තලමින් කලකෝලහාල කළ බවක් වත් "මේක ශුද්ධ භූමියක් යැයි" යනුවෙන් උදාන වැකි දෙසූ බවක් වත් වාර්තා නොවේ.

විද්‍යාර්ථීන් හට සුසානය කැන්දන සරසවි පද්ධතියක් තුළින් ආනන්දයෙන් ප්‍රඥාවට යන්නට තැත් කිරීම අතිශය විහිළු සහගත දෙයක් බව කෞෂල්‍යා ප්‍රනාන්දු ද වටහාගත යුතුයැයි යෝජනා කරමි. තොල් සිප ගැනීම් වැනි අසෝබන දර්ශන වලින් "වළත්" සරසවි සිසුන්ගේ සිතත් කෙළෙසෙන්නට ඉඩ ඇති බැවින් කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ නාට්‍ය වෙනුවට ඇගේ මෑණියන් වන සෝමලතා සුභසිංහ ගේ " පුංචි අපට දැන් තේරෙයි" හෝ "ගමරාළ දිව්‍ය ලෝකෙට" වැනි ළමා නාට්‍ය ගෙන්වන්නැයි සරසවි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

පේරාදෙණිය සිසුන් තවමත් සරච්චන්ද්‍රට බොහෝ දුරින්ය. විරෝධය දැක්වීම සහ බඩ ඉරිඟු වහලු වලින් ගැසීම වෙන්කර ගත නොහැකි ඔවුන් කෙරෙන් තවත් තලේබාන් මුල්ලාවරුන් කොට්ඨාසයක් මිසක් කලාකාමී සහෘද පරපුරක් දැකිය හැකිද ?
නොදනිමි කාගේ දොසා !

2016 ජූලි 17 
Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment