රුවල් ඉරී ගිය නෞකාවේ



අපට තව දුරටත් එක්ව ගමන් කළ නොහේ
ඒ නිසා මා - දළ රළ පෙළ අතර දමා යන්න

අනන්තයට හෝ සිතිජ ඉම අද්දරට ඔබ හා එක්ව යාමට මට ද ආසාවක් නොතිබුණා නොවේ. නමුත් එවැනි ආසාවක් නොමැති බව අපගේ ගමනාරම්භයේදීම ඔබ හට පැවසීමි. එය සිහිනයක් ම මිස සැබෑවක් නොවන බව ප්‍රත්‍යක්ෂවම දන්නා නිසාම , එවැනි ආසාවක් නැතැයි එකහෙළාම පැවසීමි. දනිමි .... සිහින ලෝකය ඉතා දිගු බවත් , දෑස් විවර කරන්නට නොසිතෙන තරමට සුන්දර බවත්. නමුත් එක් මොහොතකට හෝ ඔබ දකින්නට හැකි බැවින් එක් තත්පරයකට ඔබ හා සිනාසෙන්නට හැකි බැවින් , සිහිනයට සමු දී ඔබේ ලෝකය අසබඩ නැවතුණෙමි. සති කිහිපයක නින්ද උදුරාගන්නට තරම් වේදනාකාරී වුවද, එහිදී ඔබ රුව දකින්නට හැකි නම් ,මොහොතකට හෝ ඔබගේ සිනහව විඳින්නට හැකි නම් සිහින ලෝකයෙන් මට පලක් නැත. බාගදා මා අත් හරින්නේ ඒ ලොව සක්විති කිරුළ විය හැකිය. නමුත් ඔබෙ ලෝකයේ පදිකයෙක් වී හෝ ඔබට ඈත්ව - මෑත්ව ඔබගේ අඩි සලකුණු අතර ඇවිදින්නට ඇත්නම් එය ප්‍රේමය තරම්ම හද සනසවන්නක් යැයි මා සිතමි. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්දැයි මා නොදනිමි. දැන ගැනීමටද උත්සාහ නොකරමි.

ඒ තීරණාත්මක නිමේෂය උදා වී ඇත. කෙදිනක හෝ එමොහොත එළඹෙන බව දැන දැනත් අප දෙදෙන බොහෝ දුරක් ගෙවා මහ සයුර මැදටම පැමිණ ඇත්තෙමු. ශෝක වන්නට සුසුම් හෙළන්නට දෙයක් ඇත්තේ ම නැත. මන්ද ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත. ප්‍රේමයෙහි, බලාපොරොත්තුවට නිමක් නැත. ප්‍රේමයෙහි, ඉවසීමට අගක් නැත. මෙතරම් දුරක් හෝ මා සමග පැමිණීමට තීරණය කළ ඔබ පිළිබඳව බැතිබර වෙමි. ඒ ආ මග සෑම ඉවුරක්, තොටුපොළක් පාසා රැඳී ඇත්තේ ඔබ ගැවසෙන නැවුම් මතකයන්ය. ඒ මතකයෙන් මෝහනය වන්නෙමි. අදත් පවසන්නට ඇත්තේ එදා පැවසු දෑමය. ඔබ පිළිබඳ මතකය උදුරා දමා තවුතිසාවට යනවාට වඩා ඔබ වෙනුවෙන් නිරයට යාම සුවදායක බවය. ඉදින් , කාලය වැය නොකරන්න. ඔබට තවත් දුරක් යා යුතුව තිබේ. මා මෙතැනින් නැවතුණු බව පමණක් සිතෙහි තබා ගෙන ඔබ ඔබගේ ලෝකය වෙත දුක් කරදරයකින් තොරව ආපසු ගමන් කළ මැනවි.

පීඩාවකින් තොරව වෙරළට ගොඩ බට විගස ආලෝකයක් දල්වා ඒ බව පවසන්නේ නම් මැනවි.තවදුරටත් මට ඔබේ ලෝකයට ඇතුළුවන්නට අවසර නොමැති බැවින් ඔබ ඒ වගක් දන්වන තුරු මට අන්ධකාර , සාමකාමී මුහුදු පතුළේ වුවද සමාදානයේ සැතපෙන්නට නොහැකිය. ඒ බව ඔබ දන්නෙහිය

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනී 
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට 
රුවල් ඉරී ගිය නෞකාවේ 

දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට 
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම 
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින 
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම 

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට 
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස 
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට 
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට 

ගායනය      : නන්දා මාලීනි
පද රචනය  : මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය     : රෝහණ වීරසිංහ.












Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment