පද්මිණී මොකා......ආ?


පද්මිණී මොකා. . . ?
පන්තිභාර ටීචර් ඇස් දොඹ කරගෙන ඒක අහපු හැටි තාමරසී තාම මතකයි. අඩු ගාණේ ව්ලැදිමීර් පූටීන් , බෲතෝස් බෲතෝස් ගාලි වගේ නමක් නම් හිතා ගන්නවත් පුළුවන්. ඒත් හතුරුසිංහ කියන නම ජීවිතේට අහලා නැති වෙන්නේ බැහැ? චන්දික හතුරුසිංහ කියලා කෙනෙක් ක්රිකටුත් ගැහුවා කොහෙද ? ඔවු... ඔවු ගැහුවා නේන්නම්. ඒක නිසා තාමරසී ටිකක උස් හඬින් උත්තර දුන්නා

"ගැහැණු ළමයි පොතේ පද්මිණි හතුරුසිංහ"

ලංකාවට නියම සුනාමිය ආවේ එදා කියලා ඉතිහාස පෙළ පොත්වල ලියන්න ඕනේ බව තාමරසීට පස්සේ කාලෙක හිතුණා. කතා පොත් වල තමන් කැමතිම චරිතය මොකක්ද කියලා ටීචර් අහපු ප්රශ්නය තමයි මෙච්චර දුර ගියේ. හුඟක් ළමයි මඩොල් දූවේ උපාලිට, ජින්නාට කැමතියි කිවුවා. තුන් යහළු වික්රමය කියවපු කීපදෙනෙකුත් හිටියා. අඹ යාළුවෝ පොතේ නිමල්ට කැමති වුණේම ගෑණු ළමයි. ඒත් තාමරසී පද්මිණි හතුරුසිංහ කැමතියි කියපු එකෙන් ඇති වෙච්ච සුළි කුණාටුවට පන්ති කාමරේ ඉඩ මදි වුණු නිසා කොහෙද ශාලවෙන් එළියට පනින්න ටීචර් තීරණය කළා. ගෘහ විද්යා ටීචර් පද්මිණි හතුරුසිංහගේ කතාව අහලා තාමරසී දිහා පුදුමෙන් බලද්දි පී.ටී. සර් හිනා වෙලා මග ඇරලා ගියා. ඉතිහාසය උගන්නන කෙට්ටු නන්දාවතී ටීචර් කම්මුලේ අත ගහගෙන විස්සෝප වෙන හැටි දැක්කත් තාමර්සී මුකුත්ම හිතුණේ නෑ. උත්තර දෙන්න නැගිට්ට ගමන් නිසා ආයේ ඉඳ ගන්නවද නැත්නම් මෙහෙමම ප්රදර්ශන භාණ්ඩයක් වගේ හිටගෙනම ඉන්නවද කියලා විතරක් එකල මෙකල වුණා. 

"කරුණාසේන ජයලත්ගේ පොත් කියෙවුවට නම් කමක් නෑ. ඒත් අඩුම ගාණේ ගැහැණු ළමයි එකේ කුසුම්..... නැත්නං සතීගේ කතාවේ සරස්වතී මානවඩු ...." ටීචර් කියද්දි අම්ම බණ අහනවා වගෙ අහගෙන හිටියා. ඊයේ පද්මිණි හතුරුසිංහ කියන්නේ කවුද කියලා නිච්චි නැතිව හිටිය පන්තිභාර ටීචර් අද වෙද්දි කරුණාසේන ජයලත්ගේ හොඳම රසිකාවිය වෙලා. තාමරසී හිනාව හංග ගත්තා. තාමරසීට නම් පොත්වල ලිපිනය හිටං කටපාඩම්. "කණිෂ්ක ජයලත්, අමරජය, පොකුණුවිට" ටීචර් කියන විදියට තාමරසී වයසට වැඩිය මෝරලාලු. දැන් මොකද කරන්නේ? බණ්ඩක්කා කරලක් වගේ කොණක් කඩලා බලලා අහක දාන්නද? කිසිම දුකක් කරදරයක් නැතිව හැදෙන තාමරසීට මොකක්ද මේ හැදිලා තියෙන පිස්සුව කියලා ටීචර් මුළු දවස තිස්සේම කල්පනා කරනවලු. ඒක වෙන්න පුළුවන්. ඕවා කල්පනා කරලාම වෙන්න ඕනේ ටීචර්, කොණ්ඩේ පීරන්නෙත් නැතිව, ගොනයි මීමයි වගේ සාරි හැට්ට ඇඳගෙන හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙට එන්නේ. පවු දෙයියනේ! තාමරසීට ටීචර් ගැන දුකත් හිතුණා. දැන් මේ පද්මිණී හතුරුසිංහ ජාතික ප්රශ්නයක් වෙලා. කුසුම්වත් පද්මිණි ගැන මෙච්චර වද වෙන්න නැතිව ඇති. තාමරසීට ආයෙත් හිනා යන්න ආවා. 

අම්මා මෝහනය වෙලා වගෙ ටීචර් දිහා බලන් ඉන්න අතරේ ටීචර් තමන්ගේ කතාවෙන්ම මෝහනය වෙලා අම්මා දිහා බලන් හිටියා. තාමරසී හිටියේ ගුරු විවේකාගාරයේ ජනේලෙන් එහා බලාගෙන. දැන් ටීචර් කියන්නේ සාහිත් සමිතියට තාමරසී කියපු සිංදුව ගැන. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී කියලා ඉගැන්නුවට ටීචර් කියන්න අලුත් දෙයක් ඇත්තෙම නෑ වගෙයි. තාමරසී සමිතියට සිංදු කිවුවේ ආසාවට නෙමෙයි. අනිවාර්යය හින්දා. සංදීපනි ඔළුව දෙපැත්තට වන වනා, ගවුමේ කොන් දෙකත් අල්ලගෙන "ඉර හඳ මොකට අපේ ලෝකයට - අපේ සිනා කැන් බැබලෙනවා" සිංදුව කියද්දි හැමෝටම පේෂලා මෙන්ඩිස්ව මතක් වුණා. ඊළඟට තමයි තාමරසී ශිෂ්යාව. නන්දා මාලිනිගේ "දසමසක් මා කුස තුළ උන් පුතුනේ" බොහොම සීරුවට කියාගෙන ගියාට වැඩිවෙලාවක් සිංදුව කියන්න හම්බ වුණේ නැහැ. සාහිත් විෂය භාර සර් නැගිටලා තාමරසීට සිංදුව නවත්තන්න කිවුවා. ඊට පස්සේ විනාඩි විස්සක්ම ගත වුණේ සර් පවත්තපු දේශනාවට. එදා කවි කතා කියන්න නියම වෙලා හිටිය අයට වෙලාව මදි වුණු නිසා අය තාමරසීට නොසෑහෙන්න පිං දුන්නා. නමුත් තාමරසී කල්පනා කළේ නන්දා මාලිනීගේ "මල් මල් හීනය සීතල උදයේ පැල්පත් මීදුම මැද රැඳිලා" සිංදුව මතක හිටින්නේ නැත්තේ ඇයි කියලා විතරයි. 

පද්මිණි හතුරුසිංහ අමතක කරලා වෙන චරිතයක් ගැන රචනයක් ලියාගෙන එන්න කියලා ටීචර් එදා සමාව දුන්නු හැටි තාමරසීට තාම මතකයි. තනියම රචනාව ඉවර කළා වුණාට රෑ කීය වෙනකං රචනාව ලිවුවද කියලා මතක් කරගන්න අමාරුයි. දැන්නම් එහෙම නිදි මරනවා බොරු. වැඩ ඉවර වෙලා කාමරේට කූඩු වුණාම මොන රචනාද? වතුර ටිකක් ඇඟට හලාගෙන හොද්දක් ලිපේ තියා ගන්න ටිකටම ඇස් පියවෙනවා. අනිත් කෙල්ලෝ කවුරුහරි ගෙනාපු සිත්තර පත්තරයක් බැලුවොත් ඇරෙන්න පොතක් කියවපු කාලයක් තාමරසීට මතකම නැහැ. අඩුම ගාණේ අන්තිමට ඉස්කෝලේ ගියේ කොයි අවුරුද්දේද? තාමරසී මතක් කළා. කොහොම හරි අර රචනාව ලියාගෙන ගිය දවස කියලා නම් මතකයි. ඒත් එදා ඉටි පහන් පොතේ දුලීනා ගැනම ලියන්න හිතුනේ ඇයි කියලා නම් තාමරසීට නිච්චි නැහැ. 

ඕවා මතක් කරනවට වඩා කොච්චර නම් වැඩ තියෙනවාද ගාමන්ටෙකක රස්සාවක් කරද්දි?





Share on Google Plus

About Sahan Kaseera

මා ලියන්නේ මා උදෙසාමය.
නුමුදු මා ලියන දෑ කියවන්නේ මා පමණක්ම නොවන බැව් දනිමි.
එබැවින් මෙසේ ලියමි. කියවීම අන්සතු වගකීමකි.
    Blogger Comment
    Facebook Comment

1 comments: