Ballonfest : පිපිරී ගිය ලෝක වාර්තාව


Ballonfest නම් වූ ලෝ ප්‍රකට ලෝක වාර්තා පිහිටුවීමේ කලබගෑනිය පැණ නැගුණේ වසර තිහකට ඉහතදීය . ඇමරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේදී ලෝක වාර්තාවක් තැබීම පිණිස හීලීයම් බැලූන් මිලියන 1.5 ක් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබිණ. 1986 සැප්තැම්බරයේදී ක්ලීව්ලන්ඩ් නුවරදී ක්‍රියාත්මක වූ මෙම ඉසව්වේ ප්‍රධාන අරමුණ වූයේ පුණ්‍ය කටයුතු සඳහා මුදල් රැස් කර ගැනීමයි. මාස හයක සූදානමකින් යුතු මේ වැඩ පිළිවලට අනුව හීලියම් පිරවූ බැලූන් ලක්ෂ පහළොවම එක්වර ගුවනට මුදා හැරීමට සැලසුම් කර තිබිණ.

සැප්තැම්බර් 27 වැනිදා ප.ව 1.50 ට එකවිට මුදාහළ බැලුම් නිස ඔහයෝ අහස්තලය සැබෑ සුන්දරත්වයකින් පිරී යන්නට විය. නමුත් කාලගුණය පිළිබඳව නොතකා හළ සංවිධායකයින් සමග උරණ වූ බැලූන්උෂ්ණත්වය සහ සුළඟේ වේගය නිසා ක්‍රමක්‍රමයෙන් පොළව දිශාවට ඇදෙන්නට විය. ඇමරිකානු - කැනඩා මායිමේ ඊරි විලම වර්ණවත් බැලුම් කන්දරාවකින් වැසී යන්නේ මේ ලෝක වාර්තා ප්‍රයත්නයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසය. ක්ලීව්ලන්ඩ් හි බර්ක් ලේක්ෆ්‍රන්ට් ගුවන්තොටුපොළ වසා දමන්නට වන්නේ ගුවන් ධාවන පථය මුළුමණින්ම වසාගත් බැලුම් රාශිය නිසාය. මහමග ද රිය අනතුරු කිහිපයක්ම වාර්තා වන මට්ටමට බැලුන් වල බලපෑම වැඩිවී තිබිණ.



ඛේදාන්තයට මුහුණ දෙන්නේ රේමන්ඩ් බ්‍රෝඩ්‍රික් සහ බර්නාඩ් සල්සර් නම් වූ ධීවරයින් දෙදෙනාය. මේ බැලුන් අහසට මුදාහළ දිනයේම ඔවුන් මුහුදේ අතුරුදන් වූ බව වාර්තා විය. නමුත් සෙවීමේ මෙහෙයුමට දායක වූ හෙලිකොප්ටර් යානා සිය උත්සාහය අතහැරියේ අහස්තලය වසා පවතින බැලූන් රාශිය නිසා ගමන් කිරීමට නොහැකිවය. සැප්තැම්බර් 29 වැනිදා මුහුදු මෙහෙයුම් ද නවතාලූ අතර ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු එදින වෙරළට ළඟා විය. එක් ධීවරයෙකුගේ බිරිඳ මේ බැලූන්ලෝක වාර්තාවේ සංවිධායකයින්ට එරෙහිව නීතිය හමුවට ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 3.2 ක වන්දි මුදලක් ඉල්ලා සිටි අතර පසුව එම නඩුව රහසිගතව සමථයකට පත් කරගැනීමට එම සංවිධායකයින්ට හැකි විය. තවත් පාර්ශවයන් කිහිපයක් පැවරූ නඩු සහ ගෙවන්නට සිදු වූ වන්දි රැසක් හේතුවෙන් ලෝක වාර්තා තැබීම පසෙකලන්නට ඔවුනට සිදුවිය.

පුණ්‍යාධාර පිණිස මුදල් රැස් කිරීමේ අරමුණින් ඇරඹූ මේ බැලූන්ගුවන්ගත කිරීමේ ලෝක වාර්තාව අවසන් වූයේ ඉලක්කගත මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වන්දි ලෙස පිරිනමමිනි. එපමණක්ම නොව , ලෝක ඉතිහාසයට මහා විහිළුවක් එක් කරමිනි.

ලෝක වාර්තා තැබීමෙන් සහ තැබීමට ගොස් විහිළු සැපයීමෙන් කිසිවෙකුටත් පරදවාලන්නට නොහැකි තවත් රටක් වේ. Ballonfest අහවර වී වසර තිහක් ගත වූ තැන , අද පවා ඔවුන් ලෝක වාර්තා තබන්නේ යැයි රටටම විහිළු සපයති.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment