දෙසැම්බර් 22 : ඇන්ඩීස් ගුවන් අනතුරෙන් දිවි බේරාගත් 16 දෙනෙක් හමුවේ

1973 වසරේ අද වැනි දවසක අයිස්වලින් මිදුණු ඇන්ඩීස් කඳුකරයෙන් ජීවිතාශාව අත් නොහළ මිනිස් ප්‍රාණීන් 16 දෙනෙක් බේරා ගනු ලැබිණ. දින හැත්තෑවකට පෙර අනතුරට පත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් 571 නම් වූ ගුවන් යානාවේ ගමන් කළ ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය අභියස මාරයාට පවා පරාජය භාර ගන්නට සිදු විය. එහි උරුගුවේ රග්බි කණ්ඩායමක සාමාජිකයන් ඇතුළුව 45 දෙනෙකි. දොළොස් දෙනෙක් යානය අනතුරට පත්වන මොහොතේම ජීවිතයෙන් සමුගන්නා අතර තවත් පස් දෙනෙක් හෝරා කිහිපයකින් වේදනාවන්ගෙන් සමු ගනිති.

ඉලෙක්ට්‍රොනික විද්‍යාව හදාරන රොඩ් හාලි සුන්බුන් අතරින් සොයා ගන්නා ට්‍රාන්සිස්ටරයක් පිළිසකර කර ගන්නා නමුදු අට වැනි දිනයේ ඔවුනට අසන්නට ලැබෙන්නේ දරාගත නොහැකි පුවතකි. ඒ ඔවුන්ගේ ගලවා ගැනීමේ මෙහෙයුම් අත් හැර දැමූ බවයි.

දහහත් දිනක් ඇවෑමෙන් සුන් බුන් වූ යානය මතට කඩා වැටෙන හිම කඳු නිසා තවත් අට දෙනෙක් මෙලොව හැර පියා නික්මෙති. දැන් එහි ගණනින් දහ හතර දෙනෙකි. සීතලත් කුසගින්නත් ඉවසා අතර ගත වන සති කිහිපයක් ගෙවී යද්දී යානාවෙන් අසුලා ගත් චොකලට් සහ අනෙකුත් ආහාර අවසාන වේ. අවාසනාවන්ත අනතුරකින් දිවි බේරාගත්තද අභාග්‍ය සම්පන්න ඉරණමක් අභියස ජීවිතය වෙනුවෙන් සටන් වදින මේ මිනිස් කැළ අතරින් දෙදෙනෙක් එම ඉරණම ට අභියෝග කිරීම ට ඉදිරිපත් වේ. ඔවුන් නමින් 19 හැවිරිදි රොබර්ටෝ කැනේසා සහ 21 හැවිරිදි ෆර්නැන්ඩෝ පැරදෝ ය. පැරදෝ තමා සමඟ පැමිණි මව සහ සොයුරිය මිය යන ආකාර සියැසින් දුටුවත් ජීවිතය අත් හළ යුතු නැතැයි ශපථ කර ගත්තේය. ඔවුන් කිසියම් හෝ ආධාරයක් හමුවෙන තෙක් තම ගමන අත් නොහරින බවට අනෙක් සගයින්ට පිළිණ දී ශීතල සහ කුසගිනි දරා තම ගමන ඇරඹූහ. 


දින 10ක් ගෙවා ගිය ඒ වෙහෙසකර , නමුත් ඇදහිය නොහැකි වීරත්වයෙන් පිරි ඒ ගමන කෙළවර වන්නේ චිලී ගුවන් හමුදා භටයින්ගේ ඇස ගැසීමෙනි. සමස්ත ලෝකයම විස්මයෙන් ඇළලී ගියේය. ඒ ලෝකයම කම්පනයෙන් විසඥ වන මට්ටම පැමිණෙන්නේ ඔවුන් තම දිවි ගලවාගත් ආකාරය ඇසීමෙන් අනතුරුවය. කුසගින්න දරා ගත නොහැකි තැන මිය ගොස් සිටි සහෘදයින්ගේ මළ සිරුරු අනුභව කරනන්නට වූ බව දිවි ගලවා ගත්තවුන් හෙළි කළේ අතිශය කළකිරීමෙන් සහ වේදනාවෙනි. මේ පුවතට තටු ලැබී ඉගිලිණ. අදටත් උරුගුවේ ගුවන් අනතුර සිහිපත් කරද්දි මාධ්‍ය වාර්තා වැඩි අවධානයක් දෙන්නේ ඔවුන්ගේ මිනී මස් අනුභවයට විනා අප්‍රතිහත ධෛර්යයය පිළිබඳ නොවේ.


නරඹන්න : සිනමා නිර්මාණය - Alive : Frank Marshall (1993) 
කියවන්න : Alive: The Story of the Andes Survivors - Paul Read (1974) 
ජීවතුන් අතර - ඉන්ද්‍රාණි කරුණාරත්න (2005 / විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment