දෙසැම්බර් 13 : සදාම් හුසේන් ඇමරිකානු හමුදා අත්අඩංගුවට පත් වේ


2003 වසරේ අද වැනි දවසක ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන් , ටික්රිට් වලට නුදුරු ගොවිපොළෙක කුරුබිලියක සැඟව සිටියදී ජීවග්‍රහයෙන් අල්ලා ගනු ලැබිණ. " සදාම් මීයෙක් මෙන් අල්ලා ගැනීමට අපි සමත් වීමු" ඇමරිකානු හමුදා නිළධාරී මේජර් ජෙනරාල් රේමන් ඔල්ඩ්‍රිනෝ සිදුවීම මාධ්‍යයට පැවසුවේ එලෙසින්ය.
ඇමරිකා එක්සත් ජනපදයේ 04 වන හමුදා අනුඛණ්ඩය සහ 121 වැනි කාර්ය සාධක බලකාය එක්ව දියත් කළ Red Down හෙවත් රතු අරුණෝදය මෙහෙයුම සදාම් හුසේන් ගේ ඉරණම තීන්දු කළේය. 2003 වසරේ ජූලි මාසය වන විට සදාම් හුසේන් " ඇමරිකාව වඩාත්ම සොයන ඉරාක ජාතිකයන්" ලැයිස්තුවේ මුල් තැන ගෙන තිබිණ. පළමුව ඇමරිකානු ප්‍රහාර හමුවේ ඔහුගේ දෙපුතුනුවන් වන උදායි සහ කුසායි ද මුණුබුරු මුස්තාපා ද ජීවිතක්ෂයට පත් වේ. ජීවිතාශාවෙන් මඩින ඉරාක පාලකයා කිසිදු පහසුකමක් නොමැති , බිම්ගත කුටියක සැඟ වී සිටින්නේය.
සදාම් හුසේන් හසු වූ මොහොත 

පරාජිත ස්වරූපයෙන් සැඟව සිටි ඉරාකයේ පස් වැනි ජනපතිවරයා එලෙස ඇමරිකානු ග්‍රහණයට ලක්වේ. 2006 නොවැම්බර් මස 05 වැනිදා පවත්වන ලද නඩුවිභාගයකින් ඔහුගේ අඳුරු අතීතය මතු වන්නේය. 1982 වසරේ දී සිදුකළ ඉරාක ෂියා මුස්ලිම් වරුන් 148 දෙනෙක්ගේ ඝාතනයට වැරදිකරු වන සදාම් හුසේන් 2006 දෙසැම්බර් 30 වැනිදා එල්ලා මරනු ලබන්නේය.
එදා සදාම් හුසේන් ගේ ප්‍රතිමා බිමට පෙරළන විට ජයපැන් පානය කළ ඉරාක වැසියන් අදටත් දිනූ කිසිවක් නොමැත. සදාම් හුසේන්ගෙන් මුදාගත්තද ඇමරිකාවෙන් මිදීමට ඉරාකයට පහසු වූයේ නැත. ඉතිහාසය අපට පවසන කටුක යථාර්ථය එය වුවද තාවකාලික සැණකෙළි කෙරෙහි බඳිනා ලොබකම් අත්හැර ගැනීම පහසු කරුණක් නොවේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment