ජනවාරි 12 : අගතා ක්‍රිස්ටී මෙලොවින් සමු ගනී


1976 වසරේ අද වැනි දවසක , ලෝ ප්‍රකට රහස් පරීක්ෂක ලේඛිකාව අගතා ක්‍රිස්ටි මෙලොවින් සමු ගනී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි දී අල්සයිමර් රෝගයෙන් මිය යන අගතාට එවකට වයස අවුරුදු 85 කි. අදටත් විලියම් ශේක්ෂ්පියර් ට පමණක් දෙවැනි වන ලෙස ආදායම් වාර්තා තබා ඇති ඇයගේ කෘතීන් ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතීන් ලෙස ද සැලකේ. එහි පුදුමයක් නැත. මිනීමැරීම ද සූක්ෂම කලාවක් බව කියවන්නාට පසක් කරන අරුමැසි පරිකල්පනයක් අගතා ක්‍රිස්ටී සතුව තිබිණ.


එංගලන්තයේ ඩෙවෝන් හි උපත ලබා නිවසේ සිටම අධ්‍යාපනය ලැබූ අගතා නම් වූ කුඩා දැරිය එකල අතිශය ලැජ්ජාශීලීය. නමුත් අවසානයේ ඇය නවකතා 66 ක් රචනා කරන ඇය "ඉංග්‍රීසි අපරාධ කථාවේ රැජණ " ලෙස ලෝක පූජිත විය. රහස් පරීක්ෂක කථා වලට සීමා නොවන අගතා "මේරි වෙස්ට්මැකොට්" නම් වූ අන්වර්ථ නාමයෙන් ආදර කතා මාලාවක් රචනා කළාය. පරිකල්පනය සහ කතා ගෙතීමේ හැකියාව කෙතරම් ඉහළ තලයක පැවතුණේද යන්න ඇය බිහි කළ අග්‍රගණ්‍ය රහස්පරීක්ෂක චරිත දෙක හැදෑරීමෙන් වටහා ගත හැකිය. විශ්‍රාමලත් බෙල්ජියානු පොලිස් නිළධාරියෙක් වන හර්කියුල් පයිරෝ (Hercule Poirot) සහ මිස් මාර්ප්ල් (Miss Marple) යන රහස් පරීක්ෂක චරිත ද්විත්වය සමකාලීන සාහිත්‍යය තුළ එක ලෙසින්ම ජනාදරයට පත් විය. එමෙන්ම ඒ චරිත සහ සිදුවීම් ගොඩනැගීමේ දී එකිනෙක නොපැටලවෙන සේ ඉසියුම්ව ගොඩනගන්නට තරම් අගතා ක්‍රිස්ටි ප්‍රවේසම් සහගත විය.හර්කියුල් පයිරෝ සහ මිස් මාර්ප්ල් යනු ඇය තම අසල්වාසීන් අතරින් බිහිකළ මන:කල්පිත චරිතයන් ය. නුමුදු පාඨකයින් එම චරිත වලට කෙතරම් ඇළුම් කළේදැයි කිවහොත් , හර්කියුල් පයිරෝ චරිතය මරණයට පත් වී කතා මාලාව නිම වූ පසු 1975 අගෝස්‌තු මස 06 වැනි දින පයිරෝ ගේ මරණ දැන්වීම ද පුවත්පත් වල පළ විය.


1914 දී රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු වූ ආර්චි ක්‍රිස්ටි සමග විවාහ වූ අගතා ක්‍රිස්ටි දියණිකගේ මවකි. නමුත් සැමියාගේ රහසිගත ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් නීතියෙන් වෙන්වන්නට සූදානම් වන අතර ඇගේ මවගේ වියෝව ද එම වසරේම සිදු වේ. 1926 එක්තරා දවසක අගතා ක්‍රිස්ටි එක්වරම අතුරුදන් වන්නේ ලොවම කළඹවමිනි. සති තුනකට පසු ආරූඪ නමකින් හෝටලයක සිටියදී සොයා ගන්නා ඇය දැඩි මානසික අවපීඩනයකින් සහ වියවුලකින් පසු විය. නමුත් තම දිවියේ අභාග්‍යසම්පන්න යුගය නිමා කරමින් අගතා 1930 වසරේ දී යළිත් විවාපත් වන්නීය. පුරා විද්‍යාඥයෙකු වූ සර් මැක්ස් එඩ්ගාර් ලුෂියන් මැලොවන් ඇයට මුණගැසී තිබුණේ මෙසපොටේමියාවේ සංචාරයක යෙදෙන අතරතුරදී ය.

අගතා ක්‍රිස්ටි කිසිදිනෙක පාඨකයින් වෙනුවෙන් නොලියූ අතර ඇය ලියන දෑ පාඨකයින් හට කියවීමට සිත්දෙන ලෙස පෙළඹුමක් බිහි කළාය. විටෙක පාරිභාෂික ඉඟිවැකි සහ යෙදුම් භාවිත කළ ද ඇයගේ කතා ශෛලිය ඉතා සිත්ගන්නාසුළුය. අපරාධයක් විෂයයේ වුවද ඇගේ පරිකල්පනය දිවයන්නේ ප්‍රබල විෂයය දැනුමක් සහ අවබෝධයක් ස්යපර්ශ කරමිනි. බොහෝ කථාවන්හි මිනිස් මානසික තත්ත්වය පිළිබඳ ගැඹුරින් විග්‍රහ කරන අතර විෂ ශරීරගත වීම් සහ ඖෂධ පිළිබඳ ලියැවෙන අවස්ථා සම්බන්ධයන් ද ඇදහිය නොහැකි මට්ටමට නිවැරදිය. එයට හේතුව වන්නේ ඇය පළමු විවාහයේදී හෙදියක ලෙස සේවය කළ යුගයේ ලැබූ අත්දැකීම් ද විය හැකිය. දෙවන විවාහයෙන් පසුව සැමියා සමග කැණීම් බිම් අතර ගත කළ දිවියේ දී පුරා විද්‍යාව සහ එම ක්ෂේත්‍රය පිළිබඳව ලැබූ අවබෝධය සහ විෂයය දැනුම ද ඇය ග්‍රන්ථකරණයේදී මැනවින් භාවිත කළා ය.


"It is the brain, the little gray cells on which one must rely " ...ඒ හර්කියුල් පයිරෝගේ වදන් ය. එය සත්‍යයකි. අගතා ක්‍රිස්ටි නිරන්තරව ඒ අළු පැහැ සෛල මෙහෙයවා ලේඛනයේ යෙදුණාය. අප අදටත් ඇයව සහ ඇයගේ අයස්කාන්ත රචනාවන් ආදරයෙන් සිහිපත් කරන්නේ එබැවිනි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment