දෙසැම්බර් 11 : අටවැනි එඩ්වර්ඩ් රජු ප්‍රේමය වෙනුවෙන් රජකම අත හරී

1936 වසරේ අද වැනි දවසක මහා බ්‍රිතාන්‍යයේ රජු ව සිටි අටවැනි එඩ්වර්ඩ් රජු සිය පෙම්වතිය සමග විවාහ වනු පිණිස රජ කිරුළ අත් හැර දැමීය. පදවිප්‍රාප්තියෙන් මාස එකොළහයි දවස් විසි එකක් ගත වන තැන කිරීටය අතැර යන එඩ්වර්ඩ් කුමරු ගේ අනුප්‍රාප්තිකයා වූයේ ඔහුගේ බාල සොහොයුරු වූ හයවැනි ජෝර්ජ් රජුය. එනම් වත්මන් එලිසෙබෙත් රැජණ ගේ පියාණන්ය.
පස්වැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ කිරුළ ඔහුගේ වැඩිමහළු පුතු වූ අටවැනි එඩ්වර්ඩ් කුමරු වෙත පැවරිණ. හතළිස් වියේ පසු වූ එඩ්වර්ඩ් කුමරු ඒ වන විටත් අවිවාහකවය. නමුත් ඔහු වැලීස් සිම්ප්සන් නම් වූ තිස් අට හැවිරිදි ඇමරිකානු කාන්තාව සමග පෙමින් බැඳී සිටියේය. වැලීස් ඒ වනවිටත් ඇමරිකානු නාවුක නියමුවෙක් සමග විවාහ වී හිඳ ඔහුගෙන් වෙන්ව අර්නස්ට් ඇල්ඩ්‍රිච් සිම්ප්සන් නම් වූ නාවික විධායකයෙකු සමග විවාහ වී සිටි කාන්තාවකි. නමුත් ඇය ඒ වනවිටත් සිය දෙවන සැමියාගෙන් වෙන්ව දික්කසාදය සඳහා සූදානම් වී සිටියාය . එහෙත් ඇය සමග විවාහ වීම හෝ රජ කම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවන මට්ටමට එඩ්වර්ඩ් රජු උභතෝකෝටිකයක පැටලී සිටියේය.
අටවැනි එඩ්වර්ඩ් කුමරු මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත්වීම හරහා ඔහු නිතැතින්ම ක්‍රිස්තියානි එංගලන්ත සභාවේ නාමමාත්‍රික ප්‍රධානියා බවට ද පත් වේ. එවකට පැවති ආගමික සම්ප්‍රදායට අනුව තම ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ජීවත්ව සිටින විටෙක දික්කසාදවීම සහ නැවත විවාහ වීම පල්ලිය විසින් අනුමත නොකෙරේ. වැලීස් සිම්ප්සන් ට දෙවැනි විවාහයේ දික්කසාදය ද හිමි වූවද ඇයගේ පැරණි සැමියන් දෙදෙනාම ඒ වන විට ජීවතුන් අතරය. එඩ්වර්ඩ් රජුට සම්ප්‍රදාය ඉක්මවා ගොස් විවාහ වීමට ඇති ලොකුම බාධාව වන්නේ එංගලන්ත සභාවේ ප්‍රධානියා ලෙස පල්ලියේ පොදු ස්ථාවරයට අභියෝග කිරීම නොමනා බැවිනි. එය සිදුකළහොත් අගමැතිවරයා ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය ඉල්ලා අස් වන බවත් ඒ හරහා දැනට පවතින නිශ්ක්‍රීය රාජාණ්ඩු ක්‍රමය පවා අතු ගෑවී යන බව ඔහු පැහැදිලිවම වටහාගෙන තිබෙන්නට ඇත.1936 දෙසැම්බර් 11 වැනිදා අටවැනි එඩ්වර්ඩ් රජු තම කිරුළට සමු දෙන්නේ මේ ගැටළුවට විසඳුමක් ලෙසිනි.
එඩ්වඩ් - වැලී සිම්ප්සන් යුවළ 

වත්මන් එලිසෙබෙත් රැජණගේ පියාණන් එම ධූරය භාරගනිද්දී එඩ්වර්ඩ් කුමරු සය මසකට පසු තම ඇමරිකානු පෙම්වතියස වන වැලීස් වෝෆීල්ඩ් (විවාහයට පෙර නම ) සමග විවාහ වන්නේය. එතැන් සිට මෙයුව්ල හැඳින්වූයේ වින්ඩ්සර්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙසය. වැලීස් හට රජපවුලේ කාන්තාවන්ට හිමි වන "Her Royal Highness" ආමන්ත්‍රණය හිමි නොවේ. ඒ වෙනුවට රාජකීය නොවන ආදිපාදවරුන් සහ ආදිපාදවරියන් සඳහා හිමි "Her Grace"යන ආමන්ත්‍රණය හිමි විය. 1937 වසරේ ජර්මනියේ මතභේදාත්මක සංචාරයක නිරත වූ නව යුවතිපති යුවළ නාසි පාලනය කෙරෙහි රහසිගත පක්ෂග්‍රාහී ව සිටි බවටද සැක පහළ විය. අනතුරුව බහාමාස් රාජ්‍යයේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ එඩ්වර්ඩ් කුමරා විශ්‍රාම ගත් පසු තම බිරිඳ සමග ප්‍රංශයේ පදිංචියට යයි. අද වන විට දෙදෙනාම මෙලොව අතර ගොසිනි.
කිරීටය වෙනුවෙන් ඕනෑම නීතියක් අවනීතියක් කරන්නට දත කන රටක සිටින අපට ආදරය වෙනුවෙන් කිරීටය අතැර යාම අපත්‍ය වීම ස්වභාවිකය. නමුත් එවැනි පෙම් පියවර මෑත ඉතිහාසයේ ද තිබී ඇති බවට සාක්ෂි සපයන්නේ එඩ්වර්ඩ් - වැලී පෙම්පුවතම නොවේද ?
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment