දෙසැම්බර් 10 : Operation Restore Hope හරහා සෝමාලියාවට විදෙස් හමුදා ඇතුළු වේ



1990 වසරේ අද වැනි දවසක Operation Restore Hope හෙවත් "අපේක්ෂා ප්‍රතිෂ්ඨාපන මෙහෙයුම" හරහා ඇමරිකානු මෙහෙයවීමෙන් යුතු 25,000 ක භට පිරිසක් සෝමාලියාවට ඇතුළු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඈඳා ගනිමින් දියත් වූ මෙය , සොමාලියාවේ කුසගින්න සහ යුදගින්න නිවීම පිණිසම බව ලෝකයාට පැවසුණි. නමුත් මෑත ඉතිහාසයේදී ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී තවත් රටක් ආක්‍රමණය කළ උපායශීලී ක්‍රියාමාර්ගයකට නිදසුනක් ලෙස හැඳින්වෙන්නේ ද මේ මෙහෙයුම මය.
ඒ ඇමරිකානු ජනපති ජෝර්ජ් බුෂ්ගේ පාලනයේ අවසාන කාලයයි. සෝමාලියාව යන නම ඇසූ සැණින් සිතේ මැවෙන චිත්‍රය වන දරුණු ආහාර හිඟයට නොදෙවෙනි අර්බුදයක් ඔඩු දුවමින් තිබිණ. සෝමාලියාව වසර ගණනක් තිස්සේ අරාජිකව පවතින නිසි පාලනයකින් තොර රටක් වූ අතර බොහෝ බලවත් රාජ්‍යයන් එය එලෙසම පැවතීමට සහයෝගය පල කළේය. දරිද්‍රතා චිත්‍රයම පමණක් ලෝකයට පෙන්වුවද අප්‍රිකානු මහද්වීපයේ දීර්ඝතම වෙරළ තීරයකට හිමිකම් කියන සෝමාලියාව පිහිටා තිබෙන්නේ නෞකා ප්‍රවාහනයේ මර්මස්ථානයකය. බහාලුම් ප්‍රවාහනයේදී සහ ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රවාහනයේදී ඉන්දීය සාගරයේ ඇති වැදගත්කම නිසාම සොමාලියාව බොහෝ බලවත් රටවල උකුසු ඇසට ලක්ව තිබිණ. මේ අළු යට ගිනි පුපුරු වඩ වඩාත් දැල්වෙන්නේ ඊට දසකයකට පමණ පෙර සෝමාලියාව තුළ ඛනිජ තෙල් සම්පත ඇති බව හෙළිඋදරව් වීමෙන් අනතුරුවයි. එසේ තෙල් සොයාගත් තවත් රටක් වන සුඩානය , එරට තුළ පැවති සැලසුම් සහ උපායමාර්ගයන් නිසා බටහිර රටවල බලපෑමෙන් මිදෙන්නට සමත් වේ. දෙරටක් වශයෙන් බෙදී සිටියද තෙල් සම්පත වෙනත් රටකට පැහැරගන්නට ඉඩ නොතැබීමට තරම් සුඩානය ශක්තිසම්පන්න විය. නමුත් සෝමාලියාව සිටින්නේ එයට ගව් ගණනක් මෙහාට වන්නටය.



මනුෂ්‍යත්වයේ සහ සභ්‍යත්වයේ සළුපිළි පොරවාගත් "අපේක්ෂා ප්‍රතිෂ්ඨාපන මෙහෙයුම" එලෙස ඇරැඹිණ. ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා භට ඛණ්ඩය සෝමාලියානු ජාතිකවාදී ව්‍යාපාරය සමග ගැටෙමින් සෝමාලියාවේ කුසගිනි නිවා දමන්නට අරගල කරන බව ලොවට පෙන්වා දුන්හ. දේශීය සටන්කාමීන්ගෙන්ද ඔවුනට ලැබුණු ප්‍රතිචාරය සුභවාදී නොවීය. ජනපති බිල් ක්ලින්ටන් බලයට පත්ව මෙම මෙහෙයුම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පූර්න වශයෙන් පවරන්නේත් , ඇමරිකාව තම දෑත් සෝදාගෙන පසෙකට වන්නේත් එවන් පසුබිමකය.


සෝමාලියාව යනු අදටත් බහුතරයකට කුසට පාන් කැබැල්ලක් නොමැති තරම් දරිද්‍රතාව රජයන අන්ත දිළිඳු රටකි. නමුත් සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් එදාසිටම භාවිතා කරන්නේ නවීනතම ගිනි අවි සහ පණිවුඩ සංඥා තාක්ෂණ උපකරණයන් ය. මේ වනවිට ඊටත් එහා ගිය අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන සෝමාලියාව තුළ ගිනිජාලා අවුලමින් සිටී.
1993 මැයි මස 04 වැනිදා සිවුමස් මෙහෙයුමකින් අනතුරුව ඇමරිකානු හමුදා අපේක්ෂා ප්‍රතිෂ්ඨාපන මෙහෙයුමට නැවතීමේ තිත තබා සෝමාලියාවෙන් පිටව යන්නේය. නමුත් ඇමරිකාව තවමත් සෝමාලියාවෙන් පිට වී ඇත්දැයි යන්න දැවෙන , නොදැවෙන්නාක් මෙන් පෙන්වන කාලීන ප්‍රශ්නයකි.

Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment