දෙසැම්බර් 04 : සප්තකන්‍යා කඳුවැටියේ ගුවන් යානයක් ගැටී 191 දෙනෙක් ජීවිතක්ෂයට පත් වේ


1974 වසරේ අද වැනි දවසක මක්කම බලා පියාසර කළ Martinair Flight 138 ගුවන් යානය රාත්‍රී දහයට පමණ ශ්‍රි ලංකාවේ මස්කෙළියට නුදුරු සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශයට පත් විය. මගීන් 182 කින් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් සමග සමස්ත 191 දෙනාගේම ජීවිත බිලිගත් මේ අනතුර එවකට සිදු වූ තෙවැනි මාරාන්තික ගුවන් අනතුර ලෙස ඉතිහාසයට එක් විය.
ගුවන් යානය තම ගමන අරඹන්නේ ඉන්දුනීසියාවේ සුරබායන් (Surabaya) ගුවන් තොටුපොලෙනි. ගමනාන්තය සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපොළ ය. ඕලන්ද ගුවන් සමාගමක් වන Martinair යනු ඉන්දුනීසියානු නිල ගුවන් ගමන් සේවාව වන ගරුඩා ඉන්දුනීසියා ( Garuda Indonesia) හි වරලත් ගුවන් ගමන් සැපයුම්කරුවෙකි. ඉන්දුනීසියාවෙන් ගමන් ඇරඹූ ගුවන් යානය රාත්‍රී 10.10 ට පමණ ශ්‍රී පාද අඩවියේ පිහිටා තිබෙන නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳු වැටියේ පස් වෙනි කඳු සිරසේ හැපෙන්නේ අවට ගම්මාන සියල්ලම තැති ගන්වමිනි. ගණ අන්ධකාරය නිසා ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන්නට ගම්වාසීන්ට නොහැකි වූ අතර සන්නිවේදන සහ ගමනාගමන දුෂ්කරතා නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද වේ. නමුත් එහි ගලවා ගන්නට කිසිවෙක් හෝ ඉතිරි වී සිටියේ නැත. ජීවිත 191 ම අනතුර සමගම මෙලොව හැර ගොස් තිබිණ.
පැවසෙන ආකාරයට එක් ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඉන්දුනීසියාවට රැගෙන ගොස් ඇති අතර අනෙක් සියලුම සිරුරු සප්ත කන්‍ය කඳු පාමුල මිහිදන් කර ඇත. මේ අනතුරෙන් තමන් හැර ගිය ළබැඳීන් සිහිපත් කරන්නට අදටත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සිටිති. එමෙන්ම මියගිය පිරිස උදෙසා ඉදි කළ ස්මාරකයක් මෙන්ම අනතුරට පත් වූ යානයේ රෝදයක් ද අද තෙක්ම දැකීමට හැකිවේ.
මියගිය පිරිස උදෙසා වූ සමරු ඵලකය 
අනතුරට හේතු ලෙස විවිධ මතිමතාන්තර ඉදිරිපත් වුවද ඒ කිසිදු අදහසක් තහවුරු කිරීමට සාධක ඉදිරිපත් වී නොමති බව පැවසිය යුතුය. ගුවන් නියමු හෙන්ඩ්‍රික් ලෑම් යනු ශ්‍රී ලංකාවට පැමිණ ඇති , පළපුරුදු ගුවන් නියමුවෙකු වූ අතර බොහොමයක් මතවාද හුදු උපකල්පනයන් ම බව පැහැදිලි වේ. නිල පරික්ෂණයෙන් පැවසුණේ වැරදියට වටහාගත් රේඩාර් පද්ධති සංඥාව අනුමානයක් මත පියාසර කිරීම හේතුවෙන් යානය අනතුරට පත්ව ඇති බවයි.
ගුවන් යානාවේ රෝදය සහිත සමරු ඵලකය 
සමකාලීන මාධ්‍ය වාර්තා සහ තොරතුරු මූලාශ්‍රයන් පිරික්සීමේදී පෙනී යන කරුණක් වන්නේ අද දක්වා දිවෙන මුඛ පරම්පරාගත කතා පුවතක් විනා නිවැරදි සහ මධ්‍යස්ථ තොරතුරු සම්පිණ්ඩනයක් දැකීම උගහට බවයි. දේශීය මාධ්‍ය වාර්තා එකිනෙකට පටහැනි අතර විශ්වසනීයත්වය බිඳෙන තැන් බහුල වේ. "නෝටර්න් බ්‍රිජ් පොලිසිය සතු දේපළකි" යනුවෙන් දැන්වීමක් සමග ප්‍රදර්ශනය කරන අනතුරට පත් ගුවන් යානයේ රෝදය සමග ඇති සිංහල විස්තරය කියවන්න. " Martin Air DC 8 plane of Holand " යනුවෙන් ඉංග්‍රීසියෙන් ඇති හැඳින්වීම සිංහලයට නැගෙන්නේ " ඕලන්ද රජය සතු මාර්ටින් එයාර් ගුවන් යානාවේ " යනුවෙනි. මාර්ටින් එයාර් යනු ඕලන්ද රජය සතු ගුවන් සමාගමක් නොවන අතර එය ඕලන්ද ජාතිකයින් දෙදෙනෙක් එක්ව ගොඩ නැගූ පුද්ගලික භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක දිගුවක් පමණි. නමුත් අපි කියවන සිංහලයට නැගෙන්නේ වෙනත් කතාවකි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment